පුබ්බෙනිවාසානුස්සති ඤාණය
පුබ්බේනිවාසානුස්සති ඤාණකථාවෙහි - පුබ්බෙනිවාසානුස්සති ඤාණය යනු පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කිරීමේ යම් ඥානයක් වේද, එය සඳහායි. පුබ්බෙනිවාසො යනු, පෙර අතීත ජන්මයන්හි වුසු ස්කන්ධයෝයි. ‘නිවුත්ථා’ යනු, වාසය කළ, අත්දුටු, තමාගේ සන්තානයෙහි ඉපිද පහවීගිය, නිවුත්ථක්ඛන්ධයෝයි. ‘නිවුත්ථා’ යනු, ගෝචර නිවාස වශයෙන් වාසය කළ (ස්වකීය විෂය පථයට අයත්ව පැවති) ස්කන්ධයෝය, තමාගේ විඤ්ඤාණයෙන් දන්නා ලද, පිරිසිඳින ලද ස්කන්ධයෝය. නැතහොත්, ඡින්නවටුමකා (හෙවත් සසරවට සුන්කළ) බුදුවරයන්ගේ අනුස්මරණාදියෙහිදී මෙන් අනුන්ගේ විඤ්ඤාණයෙන් දන්නා ලද, ස්කන්ධයෝය, මෙකී ස්කන්ධයෝ හුදෙක් බුදුවරයන්හටම විෂය වෙති. ‘පුබ්බෙනිවාසානුස්සති’ යනු, යම් ස්මෘතියෙකින් පෙර වුසූ කඳ පිළිවෙළ අනුස්මරණය කරනු ලැබේද, එය පුබ්බේනිවාසානුස්සති නම්වේ, ‘ඤාණං’ යනු, එම ස්මෘතියෙන් යුක්තවූ ඥානයයි. මෙසේ මෙම පුබ්බේනිවාසානුස්සති ඤාණය පිණිසයි. පුබ්බේනිවාසානුස්සති ඤාණය සඳහායි. මෙම ඥානය අවබෝධ කර ගනු, පැමිණෙනු පිණිසැයි කී නියායි.
අනෙකවිහිතං යනු, අනේකවිධ වූ, අනේකප්රකාරයෙන් පවත්වනලද, මොනවට විස්තර කරන ලදැ’යි යන අර්ත්ථයි. පුබ්බෙනිවාසං යනු, ආසන්නවූ පූර්වභවයෙහි පටන් ඒ ඒ තන්හි වුසූ සන්තානයයි. අනුස්සරති යනු, කඳ පිළිවෙළ වශයෙන් හෝ චුති පටිසන්ධි වශයෙන් හෝ අනුව එමින් සිහිකරයි. මෙම පුබ්බේනිවාසය සිහිකරන්නාහු සදෙනෙක් වෙති:- අන්ය ශාස්තෘවරයෝය. සාමාන්ය ශ්රාවකයෝය, මහාශ්රාවකයෝය, අග්රශ්රාවකයෝය, පසේබුදුවරයෝය, සම්මා සම්බුදුවරයෝය යන මොහුය.
එහි, අන්ය ශාස්තෘවරයෝ කප් සතළිසක් සිහි කෙරෙති, එයින් එපිට සිහි නොකෙරෙති, කවර හෙයින්දයත්, දුර්වල ප්රඥා ඇති හෙයිනි, නාමරූප-පරිච්ඡේද විරහිත වූ හෙයින් ඔවුන්ගේ ප්රඥාව දුර්වල වේ. සාමාන්ය ශ්රාවකයෝ කප් සියයක්ද, කල් දහසක්ද, වුව සිහි කෙරෙත්මය, බලවත් වූ ප්රඥා ඇති හෙයිනි. අසූ මහාශ්රාවකයෝ සුවහසක් කප් සිහි කෙරෙති, අග්රශ්රාවකයෝ - ඒකාසංඛ්ය කල්ප ලක්ෂයක්ද, පසේ බුදුවරයෝ ද්ව්යසංඛ්ය කල්ප ලක්ෂයක්ද සිහි කෙරෙති, ඔවුන්ගේ අභිනීහාරය එපමණෙකි. බුදුවරයන්ගේ අභිනීහාරයෙහි වනාහි ඉමක් කොණක් නැත.
තීර්ථකයෝ හුදෙක් කඳ පිළිවෙළම සිහි කෙරෙති, කඳ පිළිවෙළ හැර චුතිපටිසන්ධි වශයෙන් සමරනු නොසමත් වෙති. අන්ධයනට මෙන් ඔවුනටද කැමැති කැමැති පෙදෙසකට යා නොහැකිය. යම්සේ අන්ධයෝ යෂ්ටිය නොහැරම යෙත්ද, එසේම තීර්ථකයෝ කඳපිළිවෙළ නොහැරම සමරති. සාමාන්ය ශ්රාවකයෝ කඳපිළිවෙළ වශයෙන්ද සමරති, චුතිපටිසන්ධි වශයෙන්ද සමරති. අසූමහාශ්රාවකයෝද එසේය. අග්රශ්රාවකයන් දෙදෙනාහට වනාහි කඳ පිළිවෙළ සැමරීමේ කාර්යයක් නැත, එක් ආත්මභාවයෙක චුතිය දැක පටිසන්ධිය දනිති, මෙසේ චුතිපටිසන්ධි වශයෙන් සංක්රමණය කෙරෙමින් යෙති. පසේ බුදුවරයෝද එසේය.
බුදුවරයන්හට වනාහි කඳ පිළිවෙළ අනුව හැසිරීමේ කාර්යයක් හෝ චුතිපටිසන්ධි වශයෙන් යාමේ කාර්යයක් හෝ නොමැත. ඔවුනට වනාහි නොයෙක් කප් කෙළ ගණනෙකින් යට හෝ මතු හෝ යම් යම් තැනක් රිසි වේද, ඒ ඒ තැන ප්රකට වේමය. එහෙයින් කප් කෙළ ගණනක් වුවද පෙය්යාල පෙළක් මෙන් සංක්ෂේප කොට යම් යම් තැනක් කැමැති වෙත්ද, ඒ ඒ තැනට යමින් සිංහාවක්රාන්ත (සිංහයාගේ පැනීම) වශයෙන් යෙති. මෙසේ ගමන් කරන ඔවුන්ගේ ඥානය, යම්සේ අස්ලොම් විදීමෙහි පලපුරුදු ඇති සරභංගයන් වැනි දුනුවායකු විසින් විදින ලද හීසරයක් අතරතුර ගස්වැල් ආදියෙහි නොපැටලී ඉලක්කයටම වදීද, නොපැටලේද, නොපැකිලේද, එසේම අතරතුර ආත්මභාවයන්හි නොපැටලේ, නොපැකිලේ, නොපැටලී නොපැකිලී කැමැති කැමැති තැනම අල්වා ගනියි.
පූර්වේනිවාසස්මරණය කරන මෙම සත්ත්වයන් අතුරෙන් තීර්ත්ථකයන්ගේ පූර්වේනිවාසදර්ශනය කණමැදිරි එළියක් හා සමානව වැටහෙයි; සාමාන්ය ශ්රාවකයන්ගේ දැකීම පහන් එලියක් හා සමානවද, මහාශ්රාවකයන්ගේ දැකීම හුළු එළියක් හා සමානවද, අග්රශ්රාවකයන්ගේ දැකීම ‘ඕසධී තාරකාවෙහි එළිය හා සමානවද, පසේබුදුවරයන්ගේ දැකීම සඳඑළිය හා සමානවද, සම්බුදුවරයන්ගේ දැකීම දහසක් රැසින් ප්රතිමණ්ඩිත සරත් සූර්යමණ්ඩලය හා සමානවද වැටහේ.