ධ්යානයෙන් තොරව බඹලොව උපතෙක් නැත, මොවුනතුරෙන්ද කිසිවෙක් දුර්භික්ෂයෙන් පෙළුණාහු වෙති, කිසිවෙක් ධ්යානාධිගමය පිණිස අභව්යයෝ (නොසුදුස්සෝ) ය, ඔහු කෙසේ උපදින්නාහුද? දෙව්ලොවදී ලබාගත ධ්යාන වශයෙනි. එකල සුවහස් වස් ඉකුත්වීමෙන් කල්ප විනාශය වන්නේයයි ලෝකව්යුහ (ලෝකාරක්ෂක) නම් කාමාවචර දෙවියෝ වොටුණු රහිත හිසින් විසුරුණු කෙස් ඇතිව හඬමින් වැලපෙමින් දෙ-අතින් කඳුලු පිසිමින් රතු ඇඳුම් ඇඳගෙන ඉතා විරූප වූ වෙස් දරමින් මිනිස් ලොව සැරිසරන්නාහු මෙසේ සැල කරන්නාහුය:- “සබඳිනි, සබඳිනි, මෙයින් සුවහස් වස්ගිය තැන කල්පාවසානය වන්නේය, මේ ලෝකය විනාශ වන්නේය, මහාසමුද්රය වියලී යන්නේය, මේ මහපොළොවද මහාමේරු පර්වතයද දැවී යන්නේය, විනාශවන්නේය, සබඳිනි, මෙත් වඩවු, කරුණා, මුදිතා, උපේක්ෂා වඩවු, මවුනට උපස්ථාන කරවු, පියනට උපස්ථාන කරවු, කුලදෙටුවන් පුදවු” යනුවෙනි.
ඔවුන් බස් අසා මනුෂ්යයෝද, බූමාටු දෙවියෝද, බෙහෙවින් සංවේගයට පත්වූවාහු ඔවුනොවුන් කෙරෙහි මුදුසිත් ඇතිව මෙත් වැඩීම් ආදී පින්කම් කොට දෙව්ලොව උපදනාහුය. එහි දිව්ය වූ සුධා භෝජනය වළඳා වායෝ කසිණයෙහි පිරියම්කොට ධ්යාන ලබති; අන්යයෝ අපරාපරිය කර්ම වශයෙන් දෙව්ලොව උපදනාහුය, අපරාපරියවේදනීය කර්ම රහිත වූ සසර සැරිසරන සත්ත්වයෙක් නම් නැත. ඔහුද එහිදී එසේම ධ්යාන ලබති. මෙසේ දෙව්ලොවදී ලබාගත් ධ්යාන වශයෙන් සියලුම සත්ත්වයෝ බඹලොව උපදනාහුය.
වැසි නැතිව ගොස් දීර්ඝකාලයක් ඉකුත්වීමෙන් දෙවන හිරක් පායන්නේය. කියනලදමැයි භාග්යවතුන් වහන්සේ විසින්:- “මහණෙනි, මෙවන් කාලයක් උදා වන්නේය” යන ආදී වශයෙන් සප්තසූර්යයන් විස්තර කළයුතුය. එය (දෙවනහිර) පෑවූ කල රැදාවල් වෙනසක් නොපෙනේ, එක් හිරක් උදාවෙයි, අනෙක බැස යයි, ලෝකය නොසිඳී පවත්නා සූර්යසන්තාප ඇත්තේ වෙයි; ප්රකෘති සූර්යයා කෙරෙහි සෙයින් කල්පවිනාශයක සූර්යයා කෙරෙහි සූර්ය දේවපුත්රයෙක් නැත. ප්රකෘති සූර්යයා පවත්නා විට අහසෙහි වළාකුළුද, දුම්සිළුද, හැසිරෙයි. කල්පවිනාශක සූර්යයා පවත්නා විට, දුම්වළා කුල් නැතිව ගොස් අහස කැටපත් තලයක් සෙයින් පැහැදිලි වෙයි. පංචමහා-ගංගාවන් හැර සෙසු කුඩා ගං හෝ ඇළ දොල ආදියෙහි ජලය වියලී යයි.
එතැන් සිට තවද, දීර්ඝ කාලයක් ඉකුත්ව ගිය කල තෙවන හිර පායයි, එය පෑවූ කල මහාගංගාවෝද, වියලී යති.
එයිනිදු දීර්ඝ කාලයක් ඉකුත්ව ගිය කල සිවුවන හිර පායයි, එය පෑවූ කල මහානදීනට ප්රභවස්ථාන වූ හිමාලය පර්වතයෙහි පිහිටි සීහපපාතය, හංසපපාතය, කණ්ණමුණ්ඩකය, රථකාරදහය, අනෝතත්තදහය, ඡද්දන්තදහය, කුණාලදහය යන සත්මහවිල් වියලී යයි.
එයිනුදු දීඝකාලයක් ඉකුත්ව ගිය කල පස්වන හිරු පායයි, එය පෑවූ කල මහාසමුද්රය ක්රමයෙන් සිඳී ගොස් ඇඟිලි පුරුකක් තෙමෙන තරම් හෝ ජලය නොරැදෙයි.
එයිනුදු දීර්ඝකාලයක් ඉකුත්ව ගිය කල සවන හිරු පහළ වෙයි, එය පහළවූ කල එකම වාෂ්පයක් බවට පත්වෙයි. වාෂ්පය විසින් ඇඳගන්නා ලද තෙතමන ඇත්තේ වෙයි, මේ සක්වළ මෙන්ම කෙළසුවහසක් සක්වළද එසේම වෙයි.
එයිනුදු දීර්ඝකාලයක් ඉකුත්වී ගියකල සත්වන හිරු පහළ වෙයි, එය පහල වූ කල කෙළසුවසක් සක්වළ හා සමග මේ සියලු සක්වළ එකම අග්නිජ්වාලයක් බවට පත්වෙයි, සියක් යොදුන් ආදී ප්රභේද ඇති මේරුපර්වතකූටයෝ පවා වාෂ්පවී ගොස් අහස්හිම අතුරුදන් වෙති. එම අග්නිජ්වාලය නැගී චාතුර්මහාරාජිකය ගනියි, එහි රන්විමන් රුවන් විමන් මැණික්විමන් දවා තාවතිංසභවනය ගනියි, මෙනයින්ම ප්රථමධ්යානභූමිය තෙක් හසුකොට ගනියි. එහි බඹලෝ තුනක්ම දවා ආභස්සර බඹලොව දක්වා ගොස් නවතියි. එම අග්නිස්කන්ධය අණුවක් තරම්වූද, සංස්කාරයක් තිබෙන තාක් නොනිවෙයි, සියලු සංස්කාරගත වස්තූන් ක්ෂය වීමෙන් ගිතෙල් දවන සිළුවක් සෙයින් අළු හෝ ඉතිරි නොවී නිවී යයි. යට ආකාශය හා උඩ ආකාශය එක් වී මහාන්ධකාරයක් බවට පත් වෙයි.
ඉක්බිති දීර්ඝ කාලයක් ගෙවී ගිය කල මහා මේඝයක් නැගී පළමුකොට සිහින් පොද වැසි වසියි, එය ක්රමයෙන් වැඩිවෙමින් කුමුදු නැටිදඬු, මොහොල්, තල්කඳ තරම් දහරින් යුතුව වසිමින් කෙළ සුවසක් සක්වළ දැවීගිය තැන් පුරවා අතුරුදන් වෙයි. ඉක්බිති යටින් හා අවටින් නැති වාතය එම ජලය කැටිකොට නෙළුම් පතෙහි දියබිඳුවක් සෙයින් මට මට බවට හරවයි. ඒ සා මහත් ජලකඳක් කැටි කරනුයේ කෙසේද? විවර සැදීමෙනි, එම ජලකඳ තන්හි තන්හි විවර සැදීමෙන් වාතයට ඉඩ දෙයි. මෙසේ එය වාතයෙන් පිඬුකැරෙමින්, ඝන කැරෙමින්, අඩුවෙමින් යටට බසියි. ජලය යටට බසින බසින කල බඹලෝ තුබූතන්හි බඹලෝද, ඉහල කාමාවචර දෙව්ලෝ සතර තුබූ තන්හි දෙව්ලෝද පහළ වෙයි.
පළමු පොළෝතලය තුබූතැනට (ජලය) බට කල්හි බලවත් වාතයෝ හටගනිති. ඒ වාතයෝ බිහිදොර වැසූ මහසැලෙක රැඳි දිය සෙයින් එම ජලකඳ නිසල කොට රඳවති. මිහිරි ජලය සිඳමින් පෘථිවී සාරය මතුපිටට නංවයි, එම පෘථිවීසාරය දිය නුමුසු කිරි බතෙක මතුපිට යොදය මෙන් වර්ණසම්පන්නද, ගන්ධරස සම්පන්නද වේ.