චෙතොපරිය ඤාණය
චේතෝපරිය ඤාණ කථාවෙහි, චෙතොපරියඤාණාය යනු, මෙහි, විනිවිද යෙති’යි ‘පරිය’ නමි, පිරිසිඳියි යන අර්ත්ථයි. සිත පිරිසිඳීම ‘චේතෝපරිය’ නමි, ‘චේතොපරිය’ම ඤාණ වෙති’යි ‘චේතොපරියඤාණ’ නම්වේ. එම ඥානය ලබනු පිණිසැයි කී නියායි. පරසත්තානං යනු, තමා හැර සෙසු පුද්ගලයන්ගේයි, පරපුග්ගලානං යන මෙයද එයට සමාන අර්ත්ථ ඇත්තේය. වෛනේය - නය වශයෙන්ද, දේශනානය වශයෙන්ද ව්යඤ්ජන නානත්වය (එකිනෙකට ව්යඤ්ජන වශයෙන් වෙනස් අර්ත්ථ වශයෙන් සමාන වචන දෙකක් යෙදීම) කරනලදී; චෙතසා චෙතො යනු, තමාගේ සිතින් ඒ පරපුද්ගලයන්ගේ සිතයි; පරිච්ච යනු පිරිසිඳැ’යි. පජානාති යනු, සරාගී ආදී වශයෙන් විවිධාකාරයෙන් දනියි.
මේ ඥානය ඉපැදවියයුතු වනුයේ කෙසේද? මෙය වනාහි දිබ්බචක්ඛු ඤාණ වශයෙන් සිද්ධවේ. එම ඥානය මෙයට පිරියම් වන්නේය; එහෙයින් එම භික්ෂුව විසින් ආලෝක කසිණය වඩා දිවැසින් අන්පුද්ගලයකුගේ හෘදයරූපය ඇසුරු කොට පවත්නා ලෝහිතයෙහි වර්ණය බලමින් සිත සෙවිය යුතුය, යම් විටෙක සොම්නස් සිතක් පවත්නේද, එවිට ඉදුණු නුග පලයෙක වර්ණය මෙන් රක්ත-වර්ණ වේ; යම් විටෙක දොම්නස් සිතක් පවත්නේද, එවිට ඉදුණු දඹපලයෙක වර්ණය මෙන් කාලවර්ණ වේ; යම්විටෙක උපේක්ෂා සිතක් පවත්නේද, එවිට තලතෙල් මෙන් පෑදුණු වර්ණ ඇත්තේ වේ; එහෙයින් මේ භික්ෂුව විසින් ‘මේ හෘදයරූපය සොම්නස් සහිත ඉන්ද්රියයෙන් හටගත්තේය, මේ හෘදයරූපය දොම්නස් සහිත ඉන්ද්රියයෙන් හටගත්තේය, මේ හෘදයරූපය උපේක්ෂා සහිත ඉන්ද්රියයෙන් හටගත්තේය’යි අන්යයන්ගේ හෘදය-ලෝහිත-වර්ණය බලමින්, සොයමින් චේතෝපරියඤාණය තර කළයුතුය. මේ ආකාරයෙන් චේතෝපරියඤාණය තර කරගත් කල අනුපිළිවෙළින් කාමාවචර වූද, රූපාවචර-අරූපාවචර වූද සියලු සිත් දැනගනියි. තමාගේ සිත අනිකාගේ සිත තුළ හසුරුවමින් හෘදයරූපය දැකීමෙන් තොරවද දැනගනියි. අටුවාවෙහි කියන ලද්දේමය: “අරූපධ්යාන විෂයෙහිදී අන්යයාගේ සිත දන්නා කැමැත්තේ කවරකුගේ හෘදයරූපය දක්නේද? කවරකුගේ ඉන්ද්රියවිකාරය බලන්නේද? කිසිවකුගේ හෝ නොදකියි, නොබලයි, යම්කිසි භූමියෙක සිතක් ආවර්ජනය කරමින් සොළොස් ආකාර සිත දනී නම්, මේ සෘද්ධිවිෂයයි. නොකරන ලද අභිනිවේශ (භාවිත) ඇත්තහුගේ වශයෙන් මෙසේ (හෘදයරූප වශයෙන්) කියනලදී” යනුවෙනි.
සරාගං වා චිත්තං යන ආදියෙහි වනාහි අටවැදෑරුම් ලෝභ සහගත සිත් සරාගසිත් යයි දතයුතුයි. කුශල වූද, අව්යාකෘත (කුසල් හෝ අකුසල් නොවූ) වූද සෙසු සියලු චතුර්භූමක සිත් රාගරහිත සිත්ය. ද්වේශසහගත සිත් දෙකද, විචිකිච්ඡා හා උද්ධච්ච සිත් දෙකදැයි යන මේ සිත් සතර මෙම ද්විකයෙහි ඇතුළත් නොවේ. ඇතැම් තෙරවරු එම සිත්ද, (රාග රහිත සිත් ලෙස) ගනිති. දෙවැදෑරුම් දොම්නස් සිත් ද්වේශ සහිත සිත් නම් වේ. කුශලවූද අව්යාකෘත වූද සෙසු සියලු චතුර්භුමක වූ සිත් ද්වේශරහිත වේ, ඉතිරි අකුසල් සිත් දසය මෙම ද්විකයෙහි ඇතුළත් නොවේ, ඇතැම් තෙරවරු එම සිත්ද ගනිති.
සමෝහං වීතමෝහං යන මෙහි වෙන් වෙන් වශයෙන් විචිකිච්ඡා හා උද්ධච්ච යන සිත් දෙකම සමෝහ වේ, මෝහය වනාහි සියලු අකුශලයන්හි උපදින හෙයින් දොළොස් වැදෑරුම් වූම අකුසල් සිත් සමෝහ සිත්යයි දතයුතුය, සෙසු සිත් මෝහ රහිත වේ. ථිනමිද්ධය අනුව ගිය සිත සංඛිත්ත නම් වේ, උද්ධච්චය අනුව ගිය සිත වික්ඛිත්ත නම් වේ. රූපාවචර අරූපාවචර සිත් මහග්ගත නම් වේ. සෙසු සිත් අමහග්ගත වේ. සියලු ත්රෛභූමක සිත් ස-උත්තර නම්වේ. ලොකෝත්තර සිත් අනුත්තර නම්වේ. උපචාරයට පැමිණියාවූද, අර්පණාවට පැමිණියා වූද, සිත් සමාහිත නම්වේ. ඒ දෙකින් එකකට හෝ නොපැමිණි සිත් අසමාහිත නම්වේ. තදඞ්ග-වික්ඛම්භන-සමුච්ඡේද-පටිප්පස්සද්ධි නිස්සරණ වශයෙන් විමුක්තියට පැමිණි සිත් විමුක්ත නම්වේ. මෙකී පස් ආකාරයෙන් එක් ආකාරයකින් හෝ විමුක්තියට නොපැමිණි සිත් අවිමුත්ත නමැ’යි දතයුතුය. මේ ආකාරයෙන් චේතෝපරියඤාණය ලබාගත් භික්ෂුතෙමේ සරාගවූ හෝ සිත-පෙ-අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිතයයි දැනගනියි.
චේතෝපරියඤාණකථාව නිමියේය
පුබ්බෙනිවාසානුස්සති ඤාණය
පුබ්බේනිවාසානුස්සති ඤාණකථාවෙහි - පුබ්බෙනිවාසානුස්සති ඤාණය යනු පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කිරීමේ යම් ඥානයක් වේද, එය සඳහායි. පුබ්බෙනිවාසො යනු, පෙර අතීත ජන්මයන්හි වුසු ස්කන්ධයෝයි. ‘නිවුත්ථා’ යනු, වාසය කළ, අත්දුටු, තමාගේ සන්තානයෙහි ඉපිද පහවීගිය, නිවුත්ථක්ඛන්ධයෝයි. ‘නිවුත්ථා’ යනු, ගෝචර නිවාස වශයෙන් වාසය කළ (ස්වකීය විෂය පථයට අයත්ව පැවති) ස්කන්ධයෝය, තමාගේ විඤ්ඤාණයෙන් දන්නා ලද, පිරිසිඳින ලද ස්කන්ධයෝය. නැතහොත්, ඡින්නවටුමකා (හෙවත් සසරවට සුන්කළ) බුදුවරයන්ගේ අනුස්මරණාදියෙහිදී මෙන් අනුන්ගේ විඤ්ඤාණයෙන් දන්නා ලද, ස්කන්ධයෝය, මෙකී ස්කන්ධයෝ හුදෙක් බුදුවරයන්හටම විෂය වෙති. ‘පුබ්බෙනිවාසානුස්සති’ යනු, යම් ස්මෘතියෙකින් පෙර වුසූ කඳ පිළිවෙළ අනුස්මරණය කරනු ලැබේද, එය පුබ්බේනිවාසානුස්සති නම්වේ, ‘ඤාණං’ යනු, එම ස්මෘතියෙන් යුක්තවූ ඥානයයි. මෙසේ මෙම පුබ්බේනිවාසානුස්සති ඤාණය පිණිසයි. පුබ්බේනිවාසානුස්සති ඤාණය සඳහායි. මෙම ඥානය අවබෝධ කර ගනු, පැමිණෙනු පිණිසැයි කී නියායි.
අනෙකවිහිතං යනු, අනේකවිධ වූ, අනේකප්රකාරයෙන් පවත්වනලද, මොනවට විස්තර කරන ලදැ’යි යන අර්ත්ථයි. පුබ්බෙනිවාසං යනු, ආසන්නවූ පූර්වභවයෙහි පටන් ඒ ඒ තන්හි වුසූ සන්තානයයි. අනුස්සරති යනු, කඳ පිළිවෙළ වශයෙන් හෝ චුති පටිසන්ධි වශයෙන් හෝ අනුව එමින් සිහිකරයි. මෙම පුබ්බේනිවාසය සිහිකරන්නාහු සදෙනෙක් වෙති:- අන්ය ශාස්තෘවරයෝය. සාමාන්ය ශ්රාවකයෝය, මහාශ්රාවකයෝය, අග්රශ්රාවකයෝය, පසේබුදුවරයෝය, සම්මා සම්බුදුවරයෝය යන මොහුය.