නෙවසඤ්ඤානාසඤ්ඤායතනය
නෙවසඤ්ඤානාසඤ්ඤායතන කර්මස්ථානය වඩනු කැමැති යෝගාවචරයා විසින් (ආවජ්ජන සමාපජ්ජනාදී පෙරකී) පස් ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි බෝකල් හුරු පුරුදු වූ හෙයින්, ‘මේ සමාපත්තිය සමීපව සිටි විඤ්ඤාණඤ්චායතනය ප්‍රතිපක්‍ෂකොට ඇත්තේය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය තරම් ශාන්තද නොවේය’යි හෝ, ‘සංඥාව රෝගයක් වැනිය, සංඥාව ගඬක් වැනිය, සංඥාව හුලක් වැනිය, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤාවක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතය’යි හෝ මෙසේ ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනවද, මතු (සිවුවැනි ආරූප්‍ය) ධ්‍යානයෙහි ආනිසංසද සලකා ආකිඤ්චඤ්ඤායතයෙහි අභිරුචිය හැර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ශාන්ත වශයෙන් මෙනෙහිකොට, (ආකාසානඤ්චායතන-විඤ්ඤාණයෙහි) අභාවය අරමුණු කොට පවත්වන ලද එම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියම ‘ශාන්තය, ශාන්තය’යි නැවත නැවතත් ආවර්ජන කළයුතුය. මෙනෙහි කළයුතුය, ප්‍රත්‍යවෙක්‍ෂා කටයුතුය, තර්කයට විතර්කයට භාජන කළයුතුය.
මෙසේ එම ආකිඤ්චඤ්ඤායතන නිමිත්තෙහි නැවත නැවත සිත හසුරුවන ඔහුගේ නීවරණයෝ යටපත් වෙති, සිහි මනාසේ පිහිටයි, උපචාර සමාධියෙන් සිත සමාධිගත වෙයි. හේ තෙමේ එම නිමිත්ත නැවත නැවතත් සේවනය කරයි, වඩයි, පුරුදු පුහුණු කරයි. මෙසේ පුරුදු කරනවිට විඤ්ඤාණාපගමයෙහි ආකිඤ්චඤ්ඤායතනය සෙයින්ම, ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති සංඛ්‍යාතවූ (නාම) ස්කන්‍ධ සතරෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනචිත්තය අර්පණාගත වෙයි, මෙහි අර්පණානය යටකී ලෙසින්ම දතයුතුය. මෙපමණෙකින්ම මේ භික්‍ෂු තෙමේ, ‘සියලු ආකාරයෙන්ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤා-නාසඤ්ඤායතනයට පැමිණ විහරණය කෙරේ” යයි කියනු ලැබේ.
මෙහිද සබ්බසො (සියලු ආකාරයෙන්) යනු යටකී නයමැයි. ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම (ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා) යන මෙහිද පෙරකී නයින්ම ධ්‍යානයද අරමුණද යන දෙකම ආකිඤ්චඤ්ඤායතන යනුයි. අරමුණද පෙරකී නයින්ම ආකිඤ්චඤ්ඤ වූයේද එම, තුන්වැනි අරූපධ්‍යානයට අරමුණු හෙයින්, දෙවියනයට ‘දෙවායතන’ යනු මෙන් ප්‍රතිෂ්ඨානාර්ත්‍ථයෙන්, ආයතන වූයේද එමැ’යි ආකිඤ්චඤ්ඤායතන නම් වේ. එසේම ආකිඤ්චඤ්ඤ වූයේද එම, එම ධ්‍යානයට උත්පත්තිස්ථානවූ හෙයින්, ‘කාම්බෝජ දේශය අශ්වයනට ආයතන වේ’ යන ආදිය සෙයින් නිජබිමැ’යි යන අරුතින්, ආයතන වූයේද එමැ’යි ආකිඤ්චඤ්ඤායතන නම් වේ. මෙසේ, යම්හෙයකින් මේ ධ්‍යානයද අරමුණද යන දෙකම නොපැවැත්ම ඇති කිරීමෙන්, මෙනෙහි නොකිරීමෙන්, මනාකොට ඉක්මවාම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා විහරණය කළ යුතුවේද, එහෙයින් මේ දෙකම එක්කොට ‘ආකිඤ්චඤ්ඤායතනය මනාකොට ඉක්මවා’යි යන මෙය කියන ලදැයි දතයුතුය.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං යන මෙහි, යම් සංඥාවක් ඇතිවීමෙන් එය නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනයයි කියනු ලැබේද, නිසිසේ පිළිපන්නහුට එම සංඥාව වේද, එම සංඥාව ගෙනහැර දක්වනු පිණිස ‘නෙව සඤ්ඤී නාසඤ්ඤී’ යනුවෙන් මතුකොට දක්වමින්, ‘තඤ්ඤෙව ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසිකරොති සංඛාරාවසෙසසමාපත්තිං භාවෙති තෙන වුච්චති නෙවසඤ්ඤීනාසඤ්ඤී” (එම ආකිඤ්චඤ්ඤායතනයම ශාන්ත වශයෙන් ගෙන මෙනෙහි කරයි, සංඛාරාවසේසමාපත්තිය වඩයි, එහෙයින් නේවසඤ්ඤීනාසඤ්ඤීයයි කියනු ලැබේ) යනුවෙන් පවසන ලදි.
එහි, සන්තතො මනසිකරොති යනු, යම් සමාපත්තියක් තුළ වනාහි (විඤ්ඤාණය පිළිබඳ) නැතිබව අරමුණුකොට සිටීද, මේ සමාපත්තිය ඒකාන්තයෙන් ශාන්ත වේයයි මෙසේ ශාන්ත අරමුණු ඇති හෙයින් එය ශාන්තයයි මෙනෙහි කරයි. ඉදින් ශාන්ත වශයෙන් මෙනෙහිකෙරේ නම්, සමතික්‍රමණය කෙසේ සිදුවේද? නොසමවදිනු කැමැතිවීමෙනි. ඒ යෝගාවචර තෙමේ එම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ශාන්ත වශයෙන් මෙනෙහිකරනුමුත්, ඔහුට ‘මම මේ සමාපත්තිය ආවර්ජනය කෙරෙමි, සමවදිමි, ඉටා ගනිමි, එයින් නැඟෙමි, ප්‍රත්‍යවෙක්‍ෂා කෙරෙමි’යි යන මේ (පස් ආකාර) වින්‍දනය, යොමුවීම, මනස්කාරය ඇති නොවේ. කවර හෙයින්ද යත්, ආකිඤ්චඤ්ඤායතනයට වඩා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ශාන්තද ප්‍රණීතද වන හෙයිනි.
යම්සේ රජෙක් තෙමේ මහත් වූ රාජානුභාවයෙන් මඟුලැතු පිට නැගී නුවර වීථි සංචාරය කරනුයේ ඇත්දත් කැටයම්කරුවන් ආදී ශිල්පීන් එක් වස්ත්‍රයක් තදකොට හැඳ අනෙක් වස්ත්‍රයෙකින් හිස වෙළාගෙන දළසුණු ආදියෙන් වැඩුණු සිරුරු ඇතිව ඇත්දළ ආදියෙන් නොයෙක් ආකාර ඇති කැටයම් කරනු දැක “කොල, මේ ආචාර්යයෝ ඉතා දක්‍ෂයහ, මේ මේ ආකාර කර්මාන්ත කෙරෙති”යි මෙසේ ශිල්පීන්ගේ දස්කම් දැක සතුටු වේ, එහෙත් “මටද රාජ්‍යය හැරදමා මෙවන් ශිල්පියකු වන්නට ඇත්නම්” යන මෙවන් අදහසෙක් නම් පහළ නොවේ. කවර හෙයින්ද යත්, රාජ්‍යශ්‍රීය මහත් අනුසස් ඇති හෙයිනි, ඔහු ශිල්පීන් ඉක්මවා යන හෙයිනි. එසේම මෙම යෝගාවචර තෙමේ එම සමාපත්තිය ශාන්ත වශයෙන් ගෙන මෙනෙහි කරනුයේ නමුදු, ඔහුට “මම මේ සමාපත්තිය ආවර්ජන කෙරෙමි, සමවදිමි, ඉටා ගනිමි, එයින් නැගී සිටිමි, ප්‍රත්‍යවෙක්‍ෂා කෙරෙමි”යි යන මේ වින්‍දනය, මේ යොමුවීම, මේ මනස්කාරය ඇති නොවේ,