10. ආරුප්ප නිද්දෙසය
පඨමාරුප්පවණ්ණනා
බ්‍රහ්මවිහාරයනට අනතුරුව දක්වනලද චතුරාරුප්පයන් අතුරෙන් පළමුකොට ආකාසානඤ්චායතනය වඩනු කැමැති යෝගාවචර තෙමේ, “රූපය හේතුකොටගෙන වනාහි දඬුමුඟුරු ගැනීම, අවිආයුධ ගැනීම, කලහ, විග්‍රහ, විවාද යන මොහු දක්නා ලැබෙති, අරූපභවයෙහි වනාහි මොහු සර්වප්‍රකාරයෙන්ම අවිද්‍යමානයහ’යි හේ තෙමේ මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂාකොට රූපයන්ගේ නිර්වේදය පිණිස, විරාගයය පිණිස, නිරොධය පිණිස පිළිපන්නේ වේ” යයි කී හෙයින් මේ දණ්ඩාදානාදීන්ගේද, චක්ඛු-සොත රෝගාදීන්ගේද, දහස් ගණන් ආබාධයන්ගේද වශයෙන් කරජරූපයෙහි ආදීනව දැක, එය ඉක්මවනු පිණිස, පරිච්ඡින්නාකාස කසිණය හැර පඨවි කසිණ ආදී පළමු නව කසිණයන් අතුරෙන් කිසියම් කසිණයෙක්හි චතුර්ත්‍ථධ්‍යානය උපදවයි,
ඔහු විසින් රූපාවචර චතුර්ත්‍ථධ්‍යාන වශයෙන් කරජරූපය ඉක්මවන ලද්දේ නමුදු, ඉක්බිති කසිණරූපයද එම කරජරූපය හා සමානවන හෙයින් එයද ඉක්මවනු කැමැත්තේ වේ. කෙසේදයත්, යම්සේ සර්පයනට බිය ඇති පුද්ගලයෙක් වනයෙහිදී සර්පයකු විසින් ලුහුබඳනා ලද්දේ වේගයෙන් පලාගොස් පලාගිය තන්හිදී රේඛාචිත්‍රයක් හෝ තල් කොළයක් හෝ වැලක් හෝ රැහැනක් හෝ ඉරිතලාගිය පොළොවෙහි පැල්මක් හෝ දැක බියපත් වේමය, තැතිගැනීමය, දකින්නට පවා නොකැමැති වේමය. තවද අනර්ත්‍ථකාරී වෛරී පුරුෂයකු හා සමග එක් ගමෙක වාසය කරන පුරුෂයෙක් ඔහු (වෛරී පුරුෂයා) විසින් වධබන්‍ධන, -පෙ-, ගිනිලෑම් ආදියෙන් උපද්‍රව කරනලදුව අන් ගමෙක විසීමට ගොස් එහිදී එම වෛරියාට සමාන රූපශබ්දප්‍රවෘත්ති ඇති පුරුෂයකු දුටුවිට බියපත් වේමය, තැති ගනීමය, දකින්නට පවා නොකැමැති වේමය.
එහි උපමා සංසන්‍දනය මෙසේය: සර්පයා විසින් හෝ වෛරී පුද්ගලයා විසින් උපද්‍රව කරන කාලය එම භික්‍ෂුවගේ කරජරූපය හා සමග බැදී සිටින කාලය වැනිය, ඔහුගේ වේගයෙන් පලායාම, නැතහොත්, අන්ගමකට පලායාම මෙහි භික්‍ෂුවගේ රූපාවචරචතුර්ත්‍ථධ්‍යාන වශයෙන් කරජරූපය ඉක්මවන කාලය වැනිය, ඔවුන් පලාගිය ස්ථානයෙහිදී නොහොත්, අන් ගමෙකදී රේඛාචිත්‍ර තාලපත්‍ර ආදිය නොහොත් වෛරී පුරුෂයාට සමාන පුරුෂයකු දැක ඇතිවන භය, සන්ත්‍රාසය හෝ නොදක්නා කැමැතිබව භික්‍ෂුවගේ කසිණරූපය කරජරූපය හා සමානයයි සලකා එයද ඉක්මවනු කැමැතිවීම වැනිය. මෙහිලා හූරකුගෙන් පහර කෑ බල්ලාය, පිශාචයන් ගැන බියෙන් පෙළෙන්නාය යන මේ උපමාවද දත යුතුය.
එහෙයින් එසේ හේ තෙමේ චතුර්ත්‍ථ ධ්‍යානයට අරමුණු වූ කසිණරූපයෙහි කළකිරී එයින් ඉවත යනු කැමැතිව, පස් ආකාරයෙන් වඩනාලද චිණ්ණවසීභාව ඇතිව ප්‍රගුණ කරනලද රූපාවචර චතුර්ත්‍ථ ධ්‍යානයෙන් නැගී, එම ධ්‍යානයෙහි, “මා කලකිරුණ මේ රූපය අරමුණු කෙරෙති”යිද, ආසන්නව සිටි සොමනස්ස නමැති ප්‍රතිපක්‍ෂයකු ඇතැ’යි ද, ශාන්ත විමොක්‍ෂයට (අරූපාවචර ධ්‍යානයට) වඩා ඔළාරික’ යයිද යන මේ ආදීනව දකී. මෙහි ධ්‍යානාංග වශයෙන් ඔළාරිකබවක් නැත. යම්සේ මේ රූපාවචර චතුර්ත්‍ථධ්‍යානය ද්වංගික වේද, එසේම සතර අරූපධ්‍යානයෝද ද්වංගික වෙති.
ඒ යෝගී තෙමේ එම චතුර්ත්‍ථධ්‍යාන විෂයෙහි ආදීනව දැක, එයට ඇති රුචිබව ඉක්මවා, ආකාසානඤ්චායතනය ශාන්ත වශයෙන්, අනන්ත වශයෙන් මෙනෙහිකොට, සක්වළ කෙළවරට හෝ යම්තාක් කැමැත්තේ නම් ඒතාක් දුරට කසිණය පතුරුවා එයින් පැතුරුණ ආකාශය “ආකාසො ආකාසො” යනුවෙන්, නැතහොත්, “අනන්තො ආකාසො” යනුවෙන් මෙනෙහි කරමින් කසිණය උගුළුවන්නේ වේ. කසිණයද උගුළුවනු ලබනුයේ පැදුරක් මෙන් හැකිලෙන්නේ නොවේ, කබලින් පූවක් මෙන් ගැලවෙන්නේ නොවේ. හුදෙක් එම කසිණය ආවර්ජනය නොකෙරේ, මෙනෙහි නොකෙරේ, ප්‍රත්‍යවෙක්‍ෂා නොකෙරේ. ආවර්ජන නොකරනවිට, මෙනෙහි නොකරනවිට, ප්‍රත්‍යවෙක්‍ෂා නොකරනවිට ඒකාන්තයෙන්ම එම කසිණයෙන් පැතිරුණ ආකාශය “ආකාසො ආකාසො” යනුවෙන් මෙනෙහි කරනුයේ කසිණය උගුළුවන්නේ නම් වේ. කසිණයද උගුළුවනු ලබන්නේ නොපැතිරේ, නොහැකිලේ, හුදෙක් මේ කසිණය මෙනෙහි නොකිරීමද, “ආකාසො ආකාසො”යි ආකාශය මෙනෙහි කිරීමද හේතුකොටගෙන උගුළුවනු ලදුයේ නම් වේ. කසිණ ඉගුළු වූ ආකාශය පමණක් දිස්වේ. කසිණය ඉගුළුවූ ආකාශය යනු හෝ, කසිණය පැතුරුණ ආකාශය යනු හෝ, කසිණයෙන් තොරවූ ආකාශය යනු හෝ මේ සියල්ලෙන්ම පැවසෙනුයේ එකක්මය.
ඒ යෝගාවචර තෙමේ කසිණය ඉගුළුවූ ආකාසනිමිත්ත “ආකාසො ආකාසො”යි නැවත නැවතත් මෙනෙහි කරයි, තර්කයට විතර්කයට බඳුන් කරයි. මෙසේ නැවත නැවතත් ආවර්ජනය කරනවිට, තර්කයට විතර්කයට බඳුන් කරනවිට ඒ යෝගාවචරයාගේ නීවරණයෝ යටපත් වෙති, සිහිය මනාව පිහිටයි, උපචාර ධ්‍යානයෙන් සිත සමාධිගත වේ. ඒ යෝගාවචර තෙමේ එම ආකාස නිමිත්ත යලි යලිත් සේවනය කරයි, වඩයි, පුරුදු කරයි. මෙසේ යලි යලිත් ආවර්ජනය කරනවිට, මෙනෙහි කරනවිට, පඨවිකසිණාදියෙහි රූපාවචරචිත්තය මෙන් ආකාශ විෂයෙහි ආකාසානඤ්චායතන චිත්තය අර්පණාගත වෙයි. මෙහිදී ද ප්‍රථමභාගයෙහි තුන්-සතර ජවනයෙක් කාමාවචර වේ, උපෙක්‍ෂාවෙදනාවෙන් යුක්තවූයේම වේ, සතරවැන්න හෝ පස්වැන්න අරූපාවචර වේ. සෙස්ස පඨවිකසිණයෙහි කි නයමැයි.