පකිණ්ණකකථා
අසදිසරූපො නාථො ආරුප්පං යං චතුබ්බිධං ආහ
තං ඉති ඤත්‍වා තස්මිං පකිණ්ණකකථාපි විඤ්ඤෙය්‍යා.
අසදෘශවූ රූපකාය සම්පත්තියක් ඇති ලෝකනාථයන් වහන්සේ චතුර්විධවූ යම් අරූපාවචර සමාපත්තියක් දේශනා කළ සේක්ද, එය මෙසේ දැන ඉක්බිති එය පිළිබඳ වූ ප්‍රකීර්ණක කථාද දතයුතුය.
අරූපාවචර සමාපත්තීහු වනාහි:
ආරම්මණාතික්කමතො චතස්සොපි භවන්ති’මා,
අඞ්ගාතික්කමමෙතාසං න ඉච්ඡන්ති විභාවිනො.
අරමුණු ඉක්මවීමෙන් මේ අරූපාවචර සමාපත්තීහු සතරෙක් වෙති, මොවුන් පිළිබඳව ධ්‍යානාංග ඉක්මවීමක් නුවණැත්තෝ නොරුස්වති.
මෙම අරූපාවචර සමාපත්තීන් අතුරෙන් පළමුවැන්න (කසිණරූප සංඛ්‍යාත) නිමිත්ත ඉක්මවීමෙන් සිද්ධ වේ. දෙවැන්න ආකාශය පිළිබද නිමිත්ත ඉක්මවීමෙන්ද, තුන්වැන්න ආකාශවිෂයෙහි පවත්වන ලද විඤ්ඤාණය ඉක්මවීමෙන්ද, සිවුවැන්න ආකාශ විෂයෙහි පවත්වන ලද විඤ්ඤාණාපගමය ඉක්මවීමෙන්ද සිද්ධ වේ. මෙසේ සියලු ආකාරයෙන් අරමුණු ඉක්මවීමෙන් මේ අරූපාවචර සමාපත්ති සතරම සිද්ධවෙති’යි දතයුතුය. මෙම අරූපාවචර සමාපත්තීන් පිළිබඳව ධ්‍යානාංග ඉක්මවීමක් පණ්ඩිතයෝ නොරුස්වති. රූපාවචර සමාපත්ති විෂයෙහි මෙන් මෙම අරූපාවචර සමාපත්ති විෂයෙහි ධ්‍යානාංග ඉක්මවීමෙක් නැත. මේ සියලු අරූපාවචර සමාපත්ති විෂයෙහි උපෙක්‍ෂා, චිත්තතෛකාග්‍රතා යන ධ්‍යානාංග දෙක පවතී.
මෙසේ වතුදු:
සුප්පණීතතරා හොන්ති පච්ඡිමා පච්ඡිමා ඉධ
උපමා තත්‍ථ විඤ්ඤෙය්‍යා පාසාදතලසාටිකා.
මෙහි පසු පසුව එන සමාපත්තිය (පළමු පළමු සමාපත්තියට වඩා) ඉතා ප්‍රණීතකර වේ. එහිලා ප්‍රාසාදතල හා සාටිකාවන් පිළිබඳ උපමා දතයුතුය.
යම්සේ වනාහි සිවුමහල් පහයෙක යටිතලයෙහි දිව්‍ය වූ නෘත්‍ය-ගීත-වාදිත-සුගන්‍ධ-මාලා-භොජන -ශයන-වස්ත්‍රාදී වශයෙන් ප්‍රණීතවූ පංචකාමගුණයෝ එළවන ලද්දාහු වෙත්ද, දෙවැනි තලයෙහි එයට වඩා ප්‍රණීතතරවූ, තෙවැනි තලයෙහි එයටද වඩා ප්‍රණීතතරවූ, සිව්වැනි තලයෙහි එයටද වඩා ප්‍රණීතතරවූ පංචකාමගුණයෝ වෙත්ද, එසේ වතුදු ඒ සතරම එකම පහයෙහි තලයෝම වෙත්ද, ප්‍රාසාදතල වශයෙන් ඔවුන්ගේ විශේෂයෙන් නැත්ද, පංචකාම ගුණයගේ සමෘද්ධවීම් වශයෙන්ම යටි යටි තලයට වඩා මතු මතු තලය ප්‍රණීතතර වේද,
තවද එක්ම ස්ත්‍රියක විසින් කටිනලද දළවූද, සිනිඳුවූද, සිනිඳුතර වූද, සිනිඳුතමවූද හුයෙන් කළ සිවුපට, තුන්පට, දෙපට, තනිපට සළු සතරෙක් වේද, දිගින් පළලින් සම ප්‍රමාණ වේද, එම සළු සතරම දිගින් පළලින් සම ප්‍රමාණ වූයේ ප්‍රමාණ වශයෙන් විශේෂයක් නැති නමුදු, සුවපහස, සියුම්බව, මහඟුබව යන මෙයින් පළමු පළමු සළුවට වඩා පසු පසු සළුව ප්‍රණීතතර වේද, එසේම මේ සතරෙහිම උපෙක්‍ෂාචිත්තෛකාග්‍රතා යන මේ අංග දෙකම විද්‍යමාන වන නමුදු, භාවනාවිශේෂ වශයෙන් ඒ අංගයන් ප්‍රණීතතර වන හෙයින් මෙහි පසු පසුව එන සමාපත්තිය වඩ වඩා ප්‍රණීත වෙතැ’යි දතයුතුය.
මෙසේ අනුපිළිවෙළින් වැඩි වන මේ ප්‍රණීතතාව:
අසුචිම්හි මණ්ඩපෙ ලග්ගො එකො, තන්නිස්යිතො පරො,
අඤ්ඤො බහි අනිස්සාය තං තං නිස්සාය චාපරො
ඨිතො, චතුහි එතෙහි පුරිසෙහි යථාක්කමං,
සමානතාය ඤාතබ්බා චතස්සොපි විභාවිනා.
අපිරිසුදු තැනෙක නඟන ලද මණ්ඩපයෙක්හි එල්බ සිටි එක් පුරුෂයෙකි, ඔහු ඇසුරින් සිටි අනෙකෙකි, ඔහුට නොළංව පිටතින් සිටි වෙනෙකෙකි, ඔහු (තුන්වැන්නා) වෙත සිටි තවෙකෙකි.
මේ පුරුෂයන් සිවුදෙනා හා සමානත්‍වයෙන් මේ සමාපත්ති සතර නුවණැත්තහු විසින් පිළිවෙළින් දතයුතුවේ.
එහි අර්ත්‍ථ යෝජනාව මෙසේයි: අපවිත්‍ර තැනෙක්හි ඉදිකළ එක්තරා මණ්ඩපයෙක් වේ. ඉක්බිති එක්තරා පුරුෂයෙක් එහි අවුත් එම අසුචි පිළිකුල් කරමින් අත්වලින් මණ්ඩපයෙහි එල්බගෙන එහි ඇලීගිය ආකාරයෙන් සිටියේය. ඉක්බිති අනෙකෙක් අවුත් මණ්ඩපයෙහි ලැගි ඒ පුරුෂයා ළඟින් සිටියේය; ඉන් ඉක්බිති වෙනත් පුරුෂයෙක් අවුත් මෙසේ සිතීය. “මේ මණ්ඩපයෙහි එල්බ සිටි පුරුෂයාද ඔහු වෙත ලැගී සිටි අනෙකාද යන මේ දෙදෙනාම නොමනාව සිටියාහු වෙති, මණ්ඩපය බිදී වැටුණහොත් දෙදෙනාම එහි වැටෙනු නියතය, එහෙයින් මම් පිටතින් සිටිමි”යි මණ්ඩපයෙහි එල්බ සිටියහු වෙත සිටි (දෙවැනි) පුරුෂයාගෙන් ඈත්ව පිටත රැදී සිටියේය. අනතුරුව තවත් (සිවුවැනි) පුරුෂයෙක් පැමිණ මණ්ඩපයෙහි එල්බ සිටියහුද ඔහු වෙන සිටි අනෙකාද යන දෙදෙනාගේම අවදානම්බව සලකා පිටතින් සිටියහු (තෙවැන්නා) මනාව සිටියහ’යි හැඟ ඔහු වෙත සිටියේය.
එහි, කසිණය ඉගිලවූ ආකාශය අසුචියෙහි සිටි මණ්ඩපය වැනියයි දතයුතුය, රූපාවචර අරමුණු කෙරෙහි පිළිකුලින් ආකාශය අරමුණුකොට සිටි ආකාසානඤ්චායතනය අසුචිය කෙරෙහි පිළිකුලින් මණ්ඩපයෙහි එල්බ සිටි පුරුෂයා වැනියයි දතයුතුය, ආකාසානඤ්චායතනය නිසා පැවති විඤ්ඤාණඤ්චායතනය මණ්ඩපයෙහි එල්බ සිටි පුරුෂයා ඇසුරුකොට සිටියහු (දෙවැන්නා) වැනි යයි දතයුතුය, ආකාසානඤ්චායතනය, අරමුණුකොට නොගෙන එහි අභාවය අරමුණුකොට ඇති ආකිඤ්චඤ්ඤායතනය, ඔවුන් (පළමුවැනි දෙවැනි) දෙදෙනාගේම අරක්‍ෂිතතාව සලකා මණ්ඩපයෙහි සිටියවුන්ගෙන් ඈත්ව පිටත රැඳීසිටියහු (තෙවැන්නා) වැනියයි දතයුතුය, විඤ්ඤාණාභාව සංඛ්‍යාත වූ බැහැර පෙදෙස්හි සිටි ආකිඤ්චඤ්ඤායතනය නිසා පැවැති නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මණ්ඩපයෙහි එල්බ සිටියහුගේද ඔහු වෙත ලැගී සිටියහුගේද අරක්‍ෂිතතාව සලකා, පිටත සිටියහු මනාව සිටියහ’යිද හැඟ, ඔහු ඇසුරුකොට සිටියහු වැනියයි දතයුතුය.
මේ ආකාරයෙන් පවත්වනු ලබන්නාවූද
ආරම්මණං කරොතෙව අඤ්ඤාභාවෙන තං ඉදං,
දිට්ඨදොසම්පි රාජානං වුත්තිහෙතු ජනො යථා.
මේ (නෙවසඤ්ඤානාසඤ්ඤායතනය) අන් අරමුණක් නැති බැවින් එම (ආකිඤ්චඤ්ඤායතනය) අරමුණු කෙරේමැයි, ජනයා ජීවන වෘත්තිය හේතුකොටගෙන, දක්නාලද දොස් ඇත්තාවූද රජකු ඇසුරු කරනු සේය.
මේ නෙවඤ්ඤානාසඤ්ඤායතනය වනාහි, ‘මේ සමාපත්තිය වූකලී ළංව සිටි විඤ්ඤාණඤ්චායතන නමැති ප්‍රත්‍යනීකය (ප්‍රතිවිරුද්ධභාවය) ඇත්තේය’යි මෙසේ දක්නාලද දොස් සහිතවූද ආකිඤ්ඤායතනය, අන් අරමුණක් නැති බැවින් අරමුණු කෙරේමැයි. කුමක් මෙන්ද යත්, ජනයා ජීවන වෘත්තිය හේතුකොටගෙන දක්නාලද, දොස් ඇත්තාවූද රජකු ඇසුරු කරනු මෙනි. යම්සේ, නොදැමුණු, සැඩපරුෂ වූ කායවාක් මනොසමාචාර සහිතවූ ද සියලු දිශාවනට අධිපති වූ කිසියම් රජකු, ‘මොහු රළු පැවතුම් ඇත්තෙකැ’යි මෙසේ දක්නාලද දොස් ඇත්තකු වුවද, අන් තැනෙක වෘත්තියක් නොලබන ජනයා වෘත්තිහේතුවෙන් ඇසුරු කෙරෙත්ද, එසේම මෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, දක්නාලද දොස් ඇත්තාවූද ආකිඤ්චඤ්ඤායතනය, අන් අරමුණක් නොලබන හෙයින් අරමුණු කෙරේමය.