ආකිඤ්චඤ්ඤායතන කර්මස්ථානය
ආකිඤ්චඤ්ඤායතන කර්මස්ථානය වඩනු කැමැති යෝගාවචරයා විසින් (ආවජ්ජන සමාපජ්ජනාදී) පස්ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙහි බෝකල් හුරුපුරුදු වූ බැවින්, ‘මේ සමාපත්තිය ළංව සිටි ආකාසානඤ්චායතන නමැති ප්රතිපක්ෂ සහිත වේ, ආකිඤ්චඤ්ඤායතනය තරම් ශාන්තද නොවේ’ යනුවෙන් විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක එහි අනභිරතිය උපදවා ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත වශයෙන් ගෙන මෙනෙහි කරමින් එම විඤ්ඤාණඤ්චායතනයටම ආරම්මණ වූ ආකාසානඤ්චායතනවිඤ්ඤාණයෙහි අභාවය, ශුන්යතාව, වියුක්තාකාරය මෙනෙහි කළ යුතුය. කෙසේද යත්:- එම විඤ්ඤාණය මෙනෙහි නොකොට ‘නත්ථි නත්ථි’ (නැත, නැත) යනුවෙන් හෝ ‘සුඤ්ඤං සුඤ්ඤං’ (ශුන්යය, ශුන්යය) යනුවෙන් හෝ ‘විවිත්තං විවිත්තං’ (පාලුය පාලුය) යනුවෙන් හෝ නැවත නැවතත් ආවර්ජන කළයුතුය. මෙනෙහි කළ යුතුය, ප්රත්යවෙක්ෂා කටයුතුය, තර්කයට විතර්කයට ලක්කළ යුතුය.
මේ ආකාරයෙන් එම නිමිත්තෙහි සිත හසුරුවන ඒ යෝගාවචරයාගේ නීවරණයෝ යටපත් වෙති, සිහිය මනාසේ පිහිටයි, උපචාර ධ්යානයෙන් සිත සමාධිගත වෙයි. හේ තෙමේ එම නිමිත්ත යලි යලිදු සේවනය කරයි, වඩයි, පුරුදු පුහුණු කරයි. මෙසේ පුරුදු කරනවිට ආකාශවිෂයෙහි පතළ මහද්ගතවිඤ්ඤාණයෙහි විඤ්ඤාණඤ්චායතනය මෙන් ආකාශය පුරා පැවැති එම මහද්ගත විඤ්ඤාණය පිළිබඳ හිස් බවෙහි, පාලු බවෙහි, නැති බවෙහි ආකිඤ්චඤ්ඤායතනචිත්තය අර්පණා බවට පත්වේ. මෙහිද අර්පණානය පළමු නයින්ම දතයුතුය.
මේ විශේෂයයි: එම අර්පණා චිත්තය උපන් කල්හි ඒ භික්ෂු තෙමේ, යම්සේ පුරුෂයෙක් මණ්ඩලමාල (රැස්වීශාලා, ධර්මශාලා) ආදී තැනෙක්හි කිසියම් කටයුත්තක් සඳහා රැස්වූ භික්ෂු සංඝයා දැක ඉවත්ව ගොස්, රැස්වූ කාර්යය නිමකොට භික්ෂූන් නැඟී ගිය පසු නැවත අවුත් දොරකඩ සිට එම ස්ථානය බලනුයේ හිස්වගිය, පාලුවගිය ශාලාවම දක්නේද, එවිට ඔහුට ‘මෙපමණ භික්ෂූහු කලුරිය කළාහුය නැතහොත් පිට පළාත්වලට ගියාහුය’යි මෙවැනි අදහසෙක් නොවන්නේද, මේ ස්ථානය හිස්වී ඇත, පාලුවී ඇතැ’යි හුදෙක් හිස්බවම දක්නේද, එසේම පළමු ආකාශ විෂයෙහි පවත්වන ලද විඤ්ඤාණය විඤ්ඤාණඤ්චායතන චක්ෂුසයෙන් බලමින් විහරණයකොට ‘නැත නැත’ යන ආදී වශයෙන් පිරියම් මෙනෙහි කිරීමෙන් එම ආකාසානඤ්චායතනවිඤ්ඤාණය අතුරුදන් වූ කල්හි එහි පහවීම හෙවත් අභාවයම දකිමින් විහරණය කෙරේ. මෙපමණෙකින්ම මේ භික්ෂු තෙමේ “සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ විහරණය කෙරේය’යි කියනු ලැබේ.
මෙහිද සබ්බසො (සියලු ආකාරයෙන්) යනු, පළමු කීනයමැයි. විඤ්ඤාණඤ්චායතනං යන මෙහිද පෙරකී නයින්ම ධ්යානයද, විඤ්ඤාණඤ්චායතන අරමුණද යන දෙකම වේ. අරමුණද පෙරකී නයින්ම ‘විඤ්ඤාණ’ වූයේද එම, දෙවන අරූපධ්යානයට අරමුණු වූ හෙයින් දෙවියනට ‘දෙවායතන’ යනු මෙන් ප්රතිෂ්ඨා වෙතැ’යි යන අරුතින් ‘ආයතන’ වූයේද එමැයි විඤ්ඤාණඤ්චායතන නම් වේද, එසේම ‘විඤ්ඤාණ’ වූයේද එම, ධ්යානයට උත්පත්තිස්ථාන වන හෙයින් ‘කම්බෝජ දේශය අශ්වයනට ආයතන වේ’ යන ආදිය මෙන්, උපන් දේශයයි යන අරුතින් ‘ආයතන’ වූයේද එමැ’යි විඤ්ඤාණඤ්චායතන නම් වේද, ඒ ආකාරයෙන්ම ධ්යානයද අරමුණද යන දෙකම නොපැවැත්වීමෙන්ද, මෙනෙහි නොකිරීමෙන්ද මනාකොට ඉක්මවාම, යම්හෙයකින් මේ ආකිඤ්චඤ්ඤායතනය උපදවා විහරණය කළයුතු වේද, එහෙයින් මේ (ධ්යානයද අරමුණද යන) දෙකම එක්කොට විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා’යි යන මෙය කියන ලදැ’යි දතයුතුය.
නත්ථි කිඤ්චි යනු කිසිවක් නැත, ‘හිස්ය, පාලුය’යි මෙසේ මෙනෙහි කරමිනි’යි කී-නියායි. විභඞ්යෙහි “නත්ථි කිඤ්චි” යනු එකී විඤ්ඤාණයම පිළිබඳව වැඩීම නොකරයි, පහවූ ස්වභාවයට පත්කරයි, අතුරුදන් කරයි, කිසිවක් නැතැ’යි දකියි, එහෙයින් ‘නත්ථි කිඤ්චි’යි කියනු ලැබේයයි’ යමක් පවසන ලද්දේ ද, එය හුදෙක් ක්ෂය වශයෙන් (සංස්කාරයන්) බැලීම මෙන් කියනලදි. එහෙත් එහි අර්ත්ථය එසේමයයි දතයුතුය. එම විඤ්ඤාණය ආවර්ජන නොකෙරෙමින්, මෙනෙහි නොකෙරෙමින්, ප්රත්යවෙක්ෂා නොකෙරෙමින්, හුදෙක් නැතිබවම, හිස් බවට, පාලුබවම මෙනෙහි කරමින් එහි නොවැඩීම, පහකිරීම, අතුරුදන් කිරීම කරති’යි කියනු ලැබේ. අන් ලෙසකින් නොවේ.
ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති යන මෙහි කිසිවක් නැතැ’යි ‘අකිඤ්චන’ නමි, යටත්පිරිසෙයින් මෙහි භංගමාත්රයක් හෝ ඉතිරිව නැතැ’යි කී-නියායි. ‘අකිඤ්චන’යෙහි ස්වභාවය (භාවතද්ධිත වශයෙන්) ආකිඤ්චඤ්ඤ නමි. ආකාසානඤ්චායතන-විඤ්ඤාණයෙහි අභාවයට මේ අධිවචනයි. එම ආකිඤ්චඤ්ඤය මෙම ධ්යානයට ප්රතිෂ්ඨා ස්ථානය’යි යන අරුතින් ‘ආයතන වෙතැ’යි, ‘දෙවියනට දෙවායතන’ යනුවෙන් ආකිඤ්චඤ්ඤායතන නම් වේ. සෙස්ස පෙරකී නයින්ම වේ.
මේ ආකිඤ්චඤ්ඤායතන කර්මස්ථානය පිළිබද විස්තර කථායි.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය
නෙවසඤ්ඤානාසඤ්ඤායතන කර්මස්ථානය වඩනු කැමැති යෝගාවචරයා විසින් (ආවජ්ජන සමාපජ්ජනාදී පෙරකී) පස් ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි බෝකල් හුරු පුරුදු වූ හෙයින්, ‘මේ සමාපත්තිය සමීපව සිටි විඤ්ඤාණඤ්චායතනය ප්රතිපක්ෂකොට ඇත්තේය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය තරම් ශාන්තද නොවේය’යි හෝ, ‘සංඥාව රෝගයක් වැනිය, සංඥාව ගඬක් වැනිය, සංඥාව හුලක් වැනිය, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤාවක් වේද, එය ශාන්තය, එය ප්රණීතය’යි හෝ මෙසේ ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනවද, මතු (සිවුවැනි ආරූප්ය) ධ්යානයෙහි ආනිසංසද සලකා ආකිඤ්චඤ්ඤායතයෙහි අභිරුචිය හැර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ශාන්ත වශයෙන් මෙනෙහිකොට, (ආකාසානඤ්චායතන-විඤ්ඤාණයෙහි) අභාවය අරමුණු කොට පවත්වන ලද එම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියම ‘ශාන්තය, ශාන්තය’යි නැවත නැවතත් ආවර්ජන කළයුතුය. මෙනෙහි කළයුතුය, ප්රත්යවෙක්ෂා කටයුතුය, තර්කයට විතර්කයට භාජන කළයුතුය.
මෙසේ එම ආකිඤ්චඤ්ඤායතන නිමිත්තෙහි නැවත නැවත සිත හසුරුවන ඔහුගේ නීවරණයෝ යටපත් වෙති, සිහි මනාසේ පිහිටයි, උපචාර සමාධියෙන් සිත සමාධිගත වෙයි. හේ තෙමේ එම නිමිත්ත නැවත නැවතත් සේවනය කරයි, වඩයි, පුරුදු පුහුණු කරයි. මෙසේ පුරුදු කරනවිට විඤ්ඤාණාපගමයෙහි ආකිඤ්චඤ්ඤායතනය සෙයින්ම, ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති සංඛ්යාතවූ (නාම) ස්කන්ධ සතරෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනචිත්තය අර්පණාගත වෙයි, මෙහි අර්පණානය යටකී ලෙසින්ම දතයුතුය. මෙපමණෙකින්ම මේ භික්ෂු තෙමේ, ‘සියලු ආකාරයෙන්ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤා-නාසඤ්ඤායතනයට පැමිණ විහරණය කෙරේ” යයි කියනු ලැබේ.