විඤ්ඤාණඤ්චායතන කර්මස්ථානය
විඤ්ඤාණඤ්චායතනය වඩනු කැමැත්තහු විසින් වනාහි (ආවජ්ජනසමාපජ්ජනාදී) පස් ආකාර පැවැත්මෙන් ආකාසානඤ්චායතන සමාපත්ති විෂයෙහි පුරුදු පුහුණු කරණලද වසීභාවය හේතුකොටගෙන, ‘මේ සමාපත්තිය අසල්ව සිටි රූපාවචර ධ්‍යාන නමැති ප්‍රතිපක්‍ෂයන් ඇත්තේය, විඤ්ඤාණඤ්චායතනය තරම් ශාන්තද නොවන්නේය”යි ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැක, එහි අනභිරුචිය දනවා, විඤ්ඤාණඤ්චායතනය ශාන්ත වශයෙන් ගෙන මෙනෙහිකොට එම ආකාශය හිම්කොට පැතිර සිටි විඤ්ඤාණය ‘විඤ්ඤාණං විඤ්ඤාණං’ යනුවෙන් නැවත නැවතත් ආවර්ජන කළයුතුය, මෙනෙහිකළයුතුය, ප්‍රත්‍යවෙක්‍ෂා කළයුතුය, තර්කයට විතර්කයට භාජන කළයුතුය, “අනන්තං අනන්තං” යනුවෙන් මෙනෙහි නොකළ යුතුය.
මෙසේ එම නිමිත්තෙහි යලි යලිදු සිත හසුරුවනවිට ඒ යෝගාවචරයාගේ නීවරණයෝ මඩිනු ලබති, සිහිය මනාව පිහිටයි, උපචාරධ්‍යානයෙන් සිත සමාධිගත වෙයි. හේ තෙමේ එම නිමිත්ත යලි යලිදු සේවනය කරයි, වඩයි, පුරුදු කරයි. මෙසේ පුරුදු පුහුණු කරන විට ඔහුට ආකාස විෂයෙහි ආකාසානඤ්චායතනචිත්තය මෙන්ම, එම ආකාශයෙහි පැතිර පවත්නා විඤ්ඤාණවිෂයෙහි විඤ්ඤාණඤ්චායතනචිත්තය අර්පණාගත වෙයි. මෙහි අර්පණානය වනාහි පළමු කියනලද නයින්ම දතයුතුය. මෙපමණෙකින්ම මේ තෙමේ, “සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ විහරණය කෙරෙති’යි කියනු ලැබේ.
එහි සබ්බසො (සියලු ආකාරයෙන්) යනු, මේ කියන ලද නයමැයි. ආකාසානඤ්චායතනං සමතික්කම්ම යන මෙහි පෙර කී-නයින් ධ්‍යානයද ආකාසානඤ්චායතන අරමුණද යන දෙකම වේ, අරමුණද පළමු නයින්ම ‘ආකාසානඤ්ච’ද, ප්‍රථම අරූපධ්‍යානයට අරමුණුවන හෙයින්, දෙවියනට ‘දෙවායතන’ යනු මෙන් ප්‍රතිෂ්ඨාවන අර්ත්‍ථයෙන් ‘ආයතන’ ද වෙති’යි ‘ආකාසානඤ්චායතන’ නම් වේ. එසේම ‘ආකාසානඤ්ච’ වූයේද, එම ධ්‍යානයෙහි උපතට හේතුවන හෙයින්, ‘කාම්බෝජ්දේශය අශ්වයනට ආයතන වේ’ යනුවෙන් උපදනා දේශය යන අර්ත්‍ථයෙන් ‘ආයතන’ වූයේද ඒ මැයි ‘ආකාසානඤ්චායතන’ නම් වේ. මෙසේ මෙම ධ්‍යානයද අරමුණද යන දෙකම නොපැවැත්වීමෙන්ද මෙනෙහි නොකිරීමෙන්ද මැනවින් ඉක්මවාම මෙම විඤ්ඤාණඤ්චායතනයට පැමිණ විහරණය කටයුතු වේ, එහෙයින් (ධ්‍යානයද අරමුණද යන) දෙකම එක්කොට ‘ආකාසානඤ්චායතනය ඉක්මවයි’ යන මේ අර්ත්‍ථය කියන ලදැ’යි දතයුතුය.
අනන්තං විඤ්ඤාණං යනු, එම ආකාසානඤ්චායතනයම ‘අනන්තො ආකාසො’ යනුවෙන් මෙසේ පවත්වා පතුරුවන ලද විඤ්ඤාණය ‘අනන්තං විඤ්ඤාණං’ යනුවෙන් මෙසේ මෙනෙහි කෙරෙමිනි’යි කී -නියායි, නොහොත් මෙනෙහි කිරීම් වශයෙන් අනන්ත වේ, ඒ යෝගාවචර තෙමේ එම ආකාශය අරමුණුකොට ඇති විඤ්ඤාණය නිරවශේෂයෙන් මෙනෙහි කරනුයේ ‘අනන්තය’යි මෙනෙහි කෙරේ. යමක් විභංගයෙහි අනන්තවූ විඤ්ඤාණය’යි කියන ලද්දේ ද, විඤ්ඤාණයෙන් පතුරුවන ලද එම ආකාශයම මෙනෙහි කරයි, අතරක් නොමැති සේ පතුරුවයි, එහෙයින් ‘අනන්තං විඤ්ඤාණං’ (අනන්ත වූ විඤ්ඤාණය) යි කියන ලදි.
එහි ‘විඤ්ඤාණෙන’ (විඤ්ඤාණයෙන්) යනු, කර්මාර්ත්‍ථයෙහි කරණවචනැ’යි දතයුතුය. මේ ආකාරයෙන් අට්ඨකථාචාර්යයෝ එහි අර්ත්‍ථය වර්ණනා කෙරෙති. ‘අනත්තං එරති’ (අනන්ත ලෙස පතුරුවයි) යනු ආකාශය පුරා පැතිර සිටි එම විඤ්ඤාණය මෙනෙහි කරති’යි කී -නියායි.
විඤ්ඤාණාඤ්චායතනං උපසම්පජ්ජ විහරති යනු, මෙහි කෙළවරක් නැතැ’යි යන අරුතින් ‘අනන්ත’ වේ, අනන්තයම (ස්වාර්ත්‍ථ තද්ධිත වශයෙන්) ආනන්ත්‍ය = ‘ආනඤ්ච’ වේ, විඤ්ඤාණං ආනඤ්චං (ආනන්ත්‍ය වූ විඤ්ඤාණය) යනු ‘විඤ්ඤාණානඤ්චං’ යයි නොකියා ‘විඤ්ඤාණඤ්ච’ යයි කියනලදි. මේ මෙහි රූඪී වචනයි. එම විඤ්ඤාණඤ්චය මෙම ධ්‍යානයට ප්‍රතිෂ්ඨාවන අර්ත්‍ථයෙන්, දෙවියනට ‘දෙවායතන’ යනුවෙන් ‘විඤ්ඤාණඤ්චායතන’ නම් වේ. සෙස්ස පළමු කී ලෙසම වේ.