මේ සිත වනාහි යුහුව පෙරළෙනසුලුය. එහෙයින් රාගයක් උපනහොත් එය අසුබ මෙනෙහි කිරීමෙන් දුර හැර ඉන්‍ද්‍රිය සංවරය සම්පාදනය කළයුතුය. පැවිදිව නොබෝකල් වූ වංගීස තෙරුන් මෙනි.
අලුත පැවිදිවූ වංගීස තෙරුන් පිඬු පිණිස හැසිරෙද්දී එක් ස්ත්‍රියක් දැක රාගය උපනි. ඉක්බිති ආනන්‍ද තෙරුන් අමතා මෙසේ කීහ:
කාමරාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති
සාධු නිබ්බාපනං බ්‍රෑහි අනුකම්පාය ගොතමාති
සාධු නිබ්බාපනං බ්‍රෑහි අනුකම්පාය ගොතමාති
ගෞතමයන්වහන්ස, මම කාමරාගයෙන් දැවෙමි. මාගේ සිත පැළහේ. මා කෙරෙහි අනුකම්පාවෙන් එය නිවන සැටි කියනු මැනවි.
තෙරණුවෝ මෙසේ කීහ:
සඤ්ඤාය විපරීයෙසා චිත්තං තෙ පරිඩය්හති,
නිමිත්තං පරිවජ්ජෙහි සුභං රාගූපසංහිතං
අසුහාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං
නිමිත්තං පරිවජ්ජෙහි සුභං රාගූපසංහිතං
අසුහාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං
සඞ්ඛාරෙ පරතො පස්ස දුක්‍ඛතො නො ච අත්තතො
නිබ්බාපෙහි මහාරාගං මා ඩයහිත්‍ථො පුනප්පුනං ති
නිබ්බාපෙහි මහාරාගං මා ඩයහිත්‍ථො පුනප්පුනං ති
සංඥාව වරදවා ගත් හෙයින් ඔබගේ සිත පැළහේ. රාගය හා සමඟ බැඳුණු සුබ නිමිත්ත වලකාලනු.
අසුභ සංඥාවෙහි සිත වඩනු. එකඟ කරනු. මොනවට සන්සුන්ද කරනු. සංස්කාරයන් තමා සතු නොවන්නන් ලෙසින්ද දුක් වශයෙන්ද අනාත්ම වශයෙන්ද දකිනු. මේ මහාරාගය නිවනු, නැවත නැවතත් නොම දැවෙනු.
තෙරණුවෝ රාගය දුරු කොටම පිඬු සිඟා වැඩියහ. තවද ඉන්‍ද්‍රියසංවරය පුරන පැවිද්දා විසින් කුරණ්ඩක මහලෙන් වැසි චිත්තගුත්ත තෙරුන් මෙන්ද චෝරක මහවෙහෙර වැසි මහාමිත්ත තෙරුන් මෙන්ද වියයුතුය. කුරණ්ඩක ලෙනෙහි වනාහි සත්බුදුවරයන්ගේ අභිනිෂ්ක්‍රමණය විදහාපාන මනරම් සිතුවම් විය. බොහෝ භික්‍ෂූහු සේනාසනචාරිකාවෙහි හැසිරෙන්නාහු සිතුවම් දැක, ‘ස්වාමීනි, සිතුවම් මනහරය’යි කීහ. තෙරණුවෝ, ‘ඇවැත්නි, සැට වසකට වැඩි කලක් ලෙණෙහි වසන්නෙම් සිතුවමක් ඇති බව හෝ නොදනිමි, අද ඇස් ඇත්තවුන් නිසා දැන ගතිමි’යි කීහ. මේසා දිගු කලක් ලෙණෙහි වසන තෙරුන් විසින් ඇස් ඇර ලෙණ දෙස නොබලනලද විරූය. ලෙන් දොර අබියස මහ නා රුකක් විය. තෙරුන් විසින් උඩට ඇස් යොමා එයද නොබලනලද විරූය. වසරක් පාසා එහි බිම වැගුරුණු රේණු දැකම එය පිපීගියබව දැනගනිති.
රජ තෙමේ තෙරුන්ගේ ගුණ සම්පත්තිය අසා වඳිනු කැමැතිව තුන් වරක් කැඳවා යවාද, තෙරුන් නොඑන කල ‘යම්තාක් තෙරුන්වහන්සේ නොඑන සේක්ද ඒ තාක් දරුවෝ කිරි නොලබත්වා’යි එගම ළදරුවන් ඇති ස්ත්‍රීන්ගේ පියොවුරු බඳවා හස් තබවා පීය. තෙරණුවෝ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් මාගමට වැඩියහ. රජතෙමේ එපවත් අසා, ‘යවු දරුවෙනි, තෙරුන්වහන්සේ කැඳවාගෙන එවු, සිල් ගනු කැමැත්තෙමැ’යි අන්තඃපුරයට ගෙන්වා වැඳ, දන් වළඳවා, ‘ස්වාමීනි, අද අවසර නැත, හෙට සිල් ගන්නෙමැ’යි තෙරුන්ගේ පාත්‍රය ගෙන මඳක් පසු ගමන් ගොස් බිසොව හා වැඳ නැවතියේය. තෙරුන්වහන්සේ රජු හෝ වේවයි බිසොව හෝ වේවයි, වඳින කල, ‘මහරජ සුවපත් වේවා’යි කියති. මෙසේ සත් දිනක් ඉකුත්ව ගියේය. භික්‍ෂූහු මෙසේ කීහ. ‘කිමෙක්ද ස්වාමීනි, ඔබවහන්සේ රජු වඳින කලද, බිසොව වඳින කලද, ‘මහරජ, සුවපත් වේව’යි කියන සේකැ’යි පැවසූහ. තෙරණුවෝ, ‘ඇවැත්නි, මම් රජුදැයි හෝ බිසොවදැ’යි හෝ විපරම් නොකෙරෙමි’යි පවසා, සත් දිනක් ඉකුත්ව ගිය කල්හි, ‘තෙරුන්හට මෙහි විසීම අපහසුය’යි රජු විසින් මුදවාහළ කල්හි කුරණ්ඩක මහලෙණට ගොස් රාත්‍රිභාගයෙහි සක්මන් මලුවට නැඟියාහ. එහි නාරුකට අධිගෘහිත දෙවියා දඬුවැට පහනක් ගෙන සිටියේය. ඉක්බිති, උන්වහන්සේට කමටහන් ඉතා පිරිසුදු ලෙස වැටහිණි. තෙරණුවෝ, ‘කිමෙක්ද අද මාගේ කමටහන් ඉතා පැහැදිලියයි සතුටුව, මැදයම ඉකුත්වත්ම මුළු පර්වතය සාධුනාදයෙන් උන්නාද කරවමින් රහත්බවට පැමිණියහ. එහෙයින්, වැඩකැමැති සෙසු කුලපුත්‍රයකු වුවද,
මක්කටො’ව අරඤ්ඤම්හි වනෙ භන්තමිගො විය
බාලො විය ච උත්‍රසෙතා න භවෙ ලොලලොචනො
බාලො විය ච උත්‍රසෙතා න භවෙ ලොලලොචනො
අධො ඛිපෙය්‍ය චක්‍ඛූනි යුගමත්තදසො සියා
වනමක්කටලොලස්ස න චිත්තස්ස වසං වජෙ ති.
වනමක්කටලොලස්ස න චිත්තස්ස වසං වජෙ ති.
වනයෙහි වෙසෙන වදුරකු මෙන් හෝ වනයෙහි මුළාවූ මුවකු මෙන් තැතිගත් ළදරුවකු මෙන් හෝ චංචල ඇස් ඇත්තකු නොවියයුතුය.
ඇස් පහතට යොමාගතයුතුය. වියදඬු පමණ බැලිය යුතුය. වනවඳුරෙකු මෙන් චංචල වූ සිතෙහි වසඟයට නොයායුතුය.
මහාමිත්ත තෙරුන්ගේද මෑණියන්හට විසගඩු රෝගයෙක් උපනි. ඇයගේ දියණියෝද මෙහෙණවරෙහි පැවිදිව වෙසෙති. ඕතොමෝ ‘ආර්යාවෙනි, බෑණන් වෙත යනු මැනවි, ගොස් මට අසනීපබව දන්වා බෙහෙතක් සපයාගෙන එනු මැනවැ’යි මෙහෙණියන්හට කීවාය. මෙහෙණියෝද ගොස් එපවත් දැන්වූහ. තෙරණුවෝ, ‘මම බොහෝ මුල් ආදිය රැස්කොට බෙහෙත් පිසන්නට නොදනිමි. එතෙකුදු වුවත් ඔබට බෙහෙතක් කියන්නෙමි, යම්හෙයකින් මා පැවිදි වූ තැන් පටන් මවිසින් ලොභ සහගත සිතින්, ඉන්‍ද්‍රිය සංවරය බිඳ කෙලෙසුන් ඉපැදවීමට හේතුවන විෂම රූපයක් නොබලන ලද විරූද, මේ සත්‍ය වචනයෙන් මාගේ මෑණියන්හට සුවවේවා! යනු මැනව. මේ බව කියා උපාසිකාවගේ ශරීරය පිරිමදිනු මැනවැ’යි කීහ. තෙරණියෝද ගොස් මෙපවත් දන්වා එසේ කළහ. එකෙණෙහිම උපාසිකාවගේ විසගඩුව පෙණපිඬක් මෙන් දියවී අතුරුදන් විය. ඕ තොමෝ නැඟී සිට, ‘ඉදින් සම්මා සම්බුදුන්වහන්සේ ජීවමාන වූසේක් නම්, මා පුත් තෙරුන් වැනි භික්‍ෂු කෙනෙකුගේ හිස දැලක් වැනි විසිතුරු අතින් කවර හෙයින් නොපිරිමදින සේක්දැ’යි ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළාය. එහෙයින්,