1. ශීල නිර්දේසය
සීලසරූපාදිකථා
මෙසේ නොයෙක් ගුණ සංග්‍රහ කෙරෙමින් ශීල සමාධි ප්‍රඥා වශයෙන් පවසන ලදුයේ නමුදු මේ විශුද්ධිමාර්ගය ඉතා සැකෙවින් දේශනා කරන ලද්දේම වේ. එහෙයින් මෙය සියල්ලනටම උපකාර පිණිස නොසෑහෙතැ’යි හඟිමින් විස්තරකොට දක්වනු පිණිස, පළමුකොට ශීලය අරබයා මේ ප්‍රශ්න කිරීම වේ.
ශීලය නම් කිමෙක්ද? කවර අරුතෙකින් ශීල නම් වේද? එහි ලක්‍ෂණ, රස (හෙවත් කෘත්‍ය), පච්චුපට්ඨාන (එළඹීම), පදට්ඨාන (ආසන්න කාරණය) යන මොහු කවරහුද? ශීලය කවර අනුසස් ඇත්තේද? මෙම ශීලය කෙතෙක් ආකාර ඇත්තේද? එහි මලිනවීම කවරේද? පිරිසුදුවීම කවරේද? එහි විසඳුම මෙසේයි:
ශීල යනු කිමෙක්ද යත්, ප්‍රාණඝාතාදියෙන් වැලකෙන්නහුගේ හෝ වේවා, වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ වේවා, චේතනාදී ස්වභාවය ශීල නමි. කියනලදමැයි පටිසම්භිදාවෙහි: ‘ශීලය නම් කිම? චේතනාව ශීලයයි, චෛතසිකය ශීලයයි, සංවරය ශීලයයි, අව්‍යතික්‍රමය (කඩ නොකිරීම) ශීලයයි.’ එහි චේතනා ශීලය නම්: ප්‍රාණඝාතාදියෙන් වලකින්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ චේතනාවයි. චෛතසික ශීලය නම්: ප්‍රාණාඝාතාදියෙන් වලකින්නහුගේ විරතියයි, යළිදු, චේතනාශීලය නම්: ප්‍රාණාඝාතාදිය හැරපියන්නහුගේ සප්ත (කුශල) කර්මපථ චේතනායි, චෛතසික ශීලය නම්, ‘අභිද්‍යාව හැරපියා අභිද්‍යාවෙන් මිදුණු සිතින් යුක්තව වාසය කරයි’ ආදි නයින් කියන ලද අනභිද්‍යා, අව්‍යාපාද සම්‍යග්දෘෂ්ටි ධර්මයයි. සංවර ශීලය නම්: මෙහි පස් ආකාරයෙකින් වන සංවරය දතයුතුය: ප්‍රාතිමෝක්‍ෂ සංවරය, සති සංවරය, ඥාන සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යන මොහුය. එහි, ‘මේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් උපේත වූයේ, සමුපේත වුයේ’යි යන ආදිය ප්‍රාතිමෝක්‍ෂ සංවරයයි. ‘චක්‍ෂුරින්‍ද්‍රිය රකියි, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි’ යන මේ සතිසංවරයයි.
‘යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං
සොතානං සංවරං බ්‍රෑමි පඤ්ඤායතෙ පිථියරෙ’ති
සොතානං සංවරං බ්‍රෑමි පඤ්ඤායතෙ පිථියරෙ’ති
‘ලොව යම්තාක් ශ්‍රෝතස්හු (ප්‍රවාහයෝ) වෙත් නම්,’ (‘අජිත’ යයි භාග්‍යවතුන් වහන්සේ කීහ.) ‘සිහිය එම ශ්‍රෝතසුන්ගේ වැලැක්වීමයි, ශ්‍රෝතස්හුගේ සංවරයයි කියමි, ප්‍රඥාවෙන් මේ ශ්‍රෝතස්හු වැසීයෙති.’
මේ ඥානසංවරයයි. ප්‍රත්‍යය පරිභෝගයද මෙහිම එක්ව සම්බන්‍ධ වේ. යම් මේ සංවරයක් ශීතය හා උෂ්ණය ඉවසන්නේ වේද’ ආදි නයින් දක්වන ලද්දේ ද, මෙය ඛන්තිසංවර නමි. යම් මේ සංවරයක් ‘උපන් කාමවිතර්කයන් හෝ නො ඉවසාද’ යන ආදි නයින් දක්වන ලද්දේ ද මෙය විරියසංවර නමි. ආජීව පාරිසුද්ධියද මෙහිම එක්ව සම්බන්‍ධ වේ. මෙසේ පස්වැදෑරුම් සංවරයද, පවට බිය ඇති කුලපුත්‍රයන්ගේ අවස්ථානුරූප වැලැක්මක් වේනම් එයද, යන මේ සියල්ලම සංවරශීලයයි දතයුතුය. අව්‍යතික්‍රම ශීලය යනු සමාදන්වූ ශීලය කායික වශයෙන් හෝ වාචසික වශයෙන් කඩ නොකිරීමයි. මේ වනාහි ශීලය නම් කිමෙක්දැයි යන ප්‍රශ්නයට විසඳුමයි.
සෙසු ප්‍රශ්නයන් අතර, කවර අරුතෙකින් ශීල නම් වේද යත්: ශීලන (එකලස්වීම) යන අර්ත්‍ථයෙන් ශීල නම් වේ. මෙම ශීලනය නම් කිමෙක්ද? කායකර්මාදියෙහි එකලස් බවයි. සුශීලතා වශයෙන් නොවිසුරුණු බවයි යන අර්ත්‍ථයි, නොහොත් කුශල ධර්මයන්ගේ පැළඹීමට ප්‍රතිෂ්ඨා වශයෙන් ආධාරවන බවයි. මෙහිලා මෙම දෙඅරුත ශබ්ද ශාස්ත්‍රඥයෝ අනුදනිති. අන් කෙනෙක් වනාහි ‘සිරස’ යන අරුතද ‘ශීතල’ යන අරුතද යන මේ ආදි නයින්ද මෙහි අරුත් විවරණය කෙරෙති.
අනතුරුව මෙහි ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨානයෝ කවරහුද යන මෙහි,
සීලනං ලක්‍ඛණ තස්ස භින්නස්සාපි අනෙකධා
සනිදස්සනත්තං රූපස්ස යථා භින්නස්ස’ නෙකධා
සනිදස්සනත්තං රූපස්ස යථා භින්නස්ස’ නෙකධා
නොයෙක් ආකාරයෙන් බෙදී ගියාවූ රූපයෙහි දැකිය හැකි බව පොදු ලක්‍ෂණය වන්නාසේ (චේතනාදි වශයෙන්) නොයෙක් ආකාරයෙන් බෙදීගියේ නමුදු එම ශීලයෙහි ලක්‍ෂණය එකලස්බවයි.
යම්සේ වනාහි නීලපීතාදි වශයෙන්, නන් ලෙසින් බෙදී ඇතත් දැකියහැකි බව රූපායතනයෙහි ලක්‍ෂණය වේද, නීලාදී භේදයෙන් බෙදී ගියද දැකිය හැකි බව නොඉක්මවන හෙයිනි. එසේම චේතනාදී භේදයෙන් නන් ලෙසින් බෙදී ඇති ශීලයද කායකර්මාදීන්ගේ එකලස් බවින්ද කුශලධර්මයනට ප්‍රතිෂ්ඨාවන හෙයින්ද, යම් මේ ශීලනයක් කියන ලද්දේ ද, එයම එහි ලක්‍ෂණය වේ. චේතනාදී භේදයෙන් බෙදී සිටියද එකලස්වීමේ හා ප්‍රතිෂ්ඨාවීමේ ස්වභාවය නොඉක්මවන හෙයිනි. මෙබඳු ලක්‍ෂණ ඇති ශීලයෙහි වනාහි,
දුස්සීල්‍ය විද්ධංසනතා අනවජ්ජගුණො තථා
කිච්චසම්පත්ති අත්‍ථෙන රසො නාම පවුච්චති
කිච්චසම්පත්ති අත්‍ථෙන රසො නාම පවුච්චති
දුසිල් නැති කරනබවද, එසේම නිරවද්‍ය ගුණයද යන දෙක (පිළිවෙළින්) කෘත්‍යය, සම්පත්තිය යන දෙඅරුතින් (ශීලය පිළිබඳ) රසයයි කියනු ලැබේ.
එහෙයින් මෙම ශීලය වනාහි කෘත්‍යය යන අරුත් ඇති රසය අනුව දුසිල් වැනසීම රසකොට ඇත්තේය; සම්පත්තිය යන අරුත් ඇති රසය අනුව නිවරද බව රසකොට ඇත්තේයයි දතයුතුයි. මෙහි ලක්‍ෂණාදියෙහි වනාහි කෘත්‍යයම නැතහොත්, සම්පත රස වෙතැයි කියනු ලැබේ.
සොචෙය්‍ය පච්චුපට්ඨානං තයිදං තස්ස විඤ්ඤූහි
ඔත්තප්පඤ්ච හිරිඤ්චෙව පදට්ඨානන්ති වණ්ණිතං
ඔත්තප්පඤ්ච හිරිඤ්චෙව පදට්ඨානන්ති වණ්ණිතං
නොකිලිටිබව එහි පච්චුපට්ඨානය හෙවත් නිතර එළඹසිටින ගුණයයිද, හිරිඔතප් යන දෙක පදට්ඨානය හෙවත් පදනමයයිද නුවණැත්තන් වර්ණනා කොටඇත.