දුතියසීලපඤ්චකං
දෙවන පංචකයෙහි පාණාතිපාතාදීන්ගේ ප්‍රහාණ ආදී වශයෙන් අර්ත්‍ථය දත යුතුය. කියන ලද මැයි පටිසම්භිදාවෙහි:
ශීලය පස් ආකාර වේ. ප්‍රාණඝාතය (කුශල චිත්තයෙන්) ප්‍රහීණ කිරීම ශීලයයි, එයින් වෙන්වීම ශීලයයි, එයට ප්‍රතිපක්‍ෂ චේතනාව ශීලයයි, එයින් වැලකීම ශීලයයි, එම ශික්‍ෂාපදය නොඉක්මවීම ශීලයයි. අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පිශුණංවචනය, පරුෂවචනය, සම්ඵප්පලාපය, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණ කිරීම ශීලයයි, නෙක්ඛම්ම චිත්තෝත්පාදයෙන් කාමච්ඡන්‍දය, මෛත්‍රීචිත්තයෙන් ව්‍යාපාදය, ආලෝක සංඥාවෙන් ථීනමිද්ධය, අවික්ෂේපයෙන් උද්ධච්චය, ධර්මව්‍යවස්ථානයෙන් විචිකිච්ඡාව, ඥානයෙන් අවිද්‍යාව, ප්‍රමෝදයෙන් අරතිය, ප්‍රථමධ්‍යානයෙන් නීවරණය, ද්විතීයධ්‍යානයෙන් විතක්ක-විචාරය, තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය, චතුර්ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛය, ආකාශානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥාව, ප්‍රතිඝසංඥාව හා නානත්වසංඥාව විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන්, ආකාසානඤ්චායතන-සංඥාව, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සංඥාව, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන-සංඥාව, අනිච්චානුපස්සනාවෙන් නිච්චසංඥාව, දුක්ඛානුපස්සනාවෙන් සුඛසංඥාව, අනත්තානුපස්සනාවෙන් අත්තසංඥාව, නිබ්බිදානුපස්සනාවෙන් නන්‍දිරාගය, විරාගානුපස්සනාවෙන් රාගය, නිරෝධානුපස්සනාවෙන් සමුදය, පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානය, ඛයානුපස්සනාවෙන් ඝන සංඥාව, වයානුපස්සනාවෙන් ආයුහනය, විපරිණාමානුපස්සනාවෙන් ධුවසංඥාව, අනිමිත්තානුපස්සනාවෙන් නිමිත්තය, අප්පණිහිතානු- පස්සනාවෙන් පණිධිය, සුඤ්ඤතානුපස්සනාවෙන් අභිනිවෙසය, අධිපඤ්ඤාධම්ම විපස්සනාවෙන් සාරාදානාභිනිවෙසය, යථාභූතඤාණ-දස්සනයෙන් සම්මොහාභිනිවෙසය, ආදීනවානුපස්සනාවෙන්, ආලයාභිනිවෙසය, පටිසංඛානුපස්සනාවෙන් අප්පටිසංඛාව, විවට්ටානු-පස්සනාවෙන් සංයොගාභිනිවෙසය, සොතාපත්ති මාර්ගයෙන් දෘෂ්ටිය හා එක්ව සිටි ක්ලේශයන්, සකෘදාගාමි මාර්ගයෙන් ඔළාරික ක්ලේශයන්, අනාගාමී මාර්ගයෙන් අනුසහගත ක්ලේශයන්, අර්හත් මාර්ගයෙන් සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කිරීම ශීලයයි. විරමණය, චේතනාව, සංවරය, අව්‍යතික්‍රමණය ශීලයයි. මේ ආකාර වූ ශීලය සිතෙහි අවිපිළිසර පිණිස පවතී. ප්‍රමෝදය පිණිස පවතී, ප්‍රීතිය පිණිස පවතී, සන්සිඳීම පිණිස පවතී. සොම්නස පිණිස පවතී. ඇසුරු කිරීම පිණිස පවතී. භාවනා පිණිස පවතී. නැවත නැවත වඩනු පිණිස පවතී, (සතින්‍ද්‍රියාදී) පරිවාර පිණිස පවතී. පිරිපුන්බව පිණිස පවතී. ඒකාන්ත නිර්වේදය පිණිස, නිරෝධය පිණිස, උපශමය පිණිස අභිඤ්ඤාව පිණිස, සම්බොධය පිණිස, නිර්වාණය පිණිස පවතී.
මෙහි වනාහි පහාණං යනු කියනලද ප්‍රකාර ඇති පාණාතිපාතාදිය නොඉපැදවීම පමණකි, ඒ හැර අන්කිසි ස්වභාවයක් නැත. යම්හෙයකින් ඒ ඒ අකුශලයන්ගේ ප්‍රහාණය ප්‍රතිපක්‍ෂ කුශල ධර්මයනට ප්‍රතිෂ්ඨාවීමේ අර්ත්‍ථයෙන් පාදකවේද, සිත් සසලවීම් නොකරන හෙයින් සමාධානයවේද, එහෙයින් යටකියනලද උපධාරණ-සමාධාන -සංඛ්‍යාත වූ ශීලනාර්ත්‍ථයෙන් ශීලයයි කියනලදි. (වෙරමණි) ආදී අනික් සතර ඒ ඒ ස්වභාවයෙන් වෙන්වීම් වශයෙන්ද, ඒ ඒ ස්වභාවයෙන් වැලකීම් වශයෙන්ද (වෙරමණි, සංවරය යන) දෙකින්ම සංයෝග වූ චේතනා වශයෙන්ද, ඒ ඒ ස්වභාවය ව්‍යතික්‍රමණය නොකිරීම් වශයෙන්ද සිත පිළිබඳ පැවැත්මේ සත්‍ය ස්වභාවය සඳහා කියනලදි. ඒ (වේරමණි ආදිය) පිළිබඳ ශීලාර්ථය යට පවසන ලද්දේම වේ. මෙසේ පහාණසීල ආදි වශයෙන් පස් ආකාර වේ.
මෙතෙකින්, ශීලය යනු කිමෙක්ද? කවර අර්ත්‍ථයෙන් ශීල නම් වේද? එහි ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන පදට්ඨානයෝ කවරහුද? ශිලය කවර අනුසස් ඇත්තේද? මේ ශීලය කී ආකාර වේදැයි යනුවෙන් යට දක්වන ලදි. මේ ප්‍රශ්නයන්ගේ විසදීම සමාප්තයි.
සීලසංකිලෙසවොදානං
එහි (ශීලයෙහි) කිලිටිවීම යනු කිමෙක්ද? පිරිසුදුවීම කිමෙක්දැ’යි යමක් කියන ලද්දේ ද, ඒ පිළිබඳ විස්තර පවසමු. ඛණ්ඩාදිභාවය ශීලය පිළිබඳ කිලිටිබවයි. අඛණ්ඩාදිභාවය පිරිසුදුබවයි. ඒ ඛණ්ඩාදිභාවය ලාභ කීර්ති ආදී භේද, ඇති හේතු වශයෙන්ද, සත් වැදෑරුම් මෙවුන්දම් සෙවීම් වශයෙන්ද, සංග්‍රහකොට ඇත.
ඒ එසේමැයි: සත්වැදෑරුම් ඇවැත් සමූහයන් විෂයෙහි, ආදියෙහි වේවයි, අන්තයෙහි වේවයි, යමකුගේ ශික්‍ෂාපදයක් බිඳුණේ නම් ඔහුගේ ශීලය කොන් ඉරුණු සළුවක් මෙන් වන හෙයින් ‘ඛණ්ඩ’ නම්වේ, යමකුගේ ශික්‍ෂාපදය මැදදී බිදුණේ නම්, ඔහුගේ ශීලය මැදින් ඉරුණු සළුවක් මෙන් වන හෙයින් ජිද්ද නම්වේ, යමකුගේ ශික්‍ෂාපද දෙකතුනක් පිළිවෙළින් බිඳුණේ නම්, පිටෙහි හෝ බඩවතෙහි හෝ තැනින් තැන මතුවී පෙනෙන නොසම පැහැ ඇති, කළු රතු ආදී කිසියම් ශරීර වර්ණයක් සහිත දෙනක මෙන් වන හෙයින් සබල නම් වේ. යමෙකුගේ ශික්‍ෂාපද අතරින්පතර කඩවූයේනම්, ඔහුගේ ශීලය අතරින් පතර නොසම පැහැ ඇති තිත් සහිත දෙනක මෙන් වන හෙයින් කම්මාස නම් වේ. මේ ආකාරයෙන් ලාභාදී හේතු භේදයෙන් ඛණ්ඩ ආදී ස්වභාවය වේ.
මෙසේ සත්වැදෑරුම් මෛථුන සංයෝග වශයෙන්ද ඛණ්ඩ ආදී භාවය වේ. වදාරන ලදුයේමැයි භාග්‍යවතුන්වහන්සේ විසින්:
බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ බ්‍රහ්මචාරීයෙකු ලෙස පිළින කරමින්, මාගමක හා සමග මෛථුන සංසර්ගයට නොඑළඹෙනුයේ නමුදු, මාගමක් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැහැවීම්, හැඹීම් (සම්බාහනය) ඉවසා නම්, විඳී නම්, රිසි වේනම්, එයින් සතුටට පත්වේනම්, මෙය බ්‍රහ්මචර්යය පිළිබඳ කඩ (ඛණ්ඩ) වීමද, සිදුරු (ජිද්ද) වීමද, විසම (සබල) වීමද, ලප සහිත (කම්මාස) වීමද වේ. බ්‍රාහ්මණය, මේ තෙමේ අපිරිසුදු බ්‍රහ්මචර්යෙහි හැසිරේයයි කියනු ලැබේ. මෛථුන සංයෝගයෙන් සංයුක්තවූයේ ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් නොමිදේ, දුකින් නොමිදේයයි කියමි,