සීලසංකිලෙසවොදානං
එහි (ශීලයෙහි) කිලිටිවීම යනු කිමෙක්ද? පිරිසුදුවීම කිමෙක්දැ’යි යමක් කියන ලද්දේ ද, ඒ පිළිබඳ විස්තර පවසමු. ඛණ්ඩාදිභාවය ශීලය පිළිබඳ කිලිටිබවයි. අඛණ්ඩාදිභාවය පිරිසුදුබවයි. ඒ ඛණ්ඩාදිභාවය ලාභ කීර්ති ආදී භේද, ඇති හේතු වශයෙන්ද, සත් වැදෑරුම් මෙවුන්දම් සෙවීම් වශයෙන්ද, සංග්‍රහකොට ඇත.
ඒ එසේමැයි: සත්වැදෑරුම් ඇවැත් සමූහයන් විෂයෙහි, ආදියෙහි වේවයි, අන්තයෙහි වේවයි, යමකුගේ ශික්‍ෂාපදයක් බිඳුණේ නම් ඔහුගේ ශීලය කොන් ඉරුණු සළුවක් මෙන් වන හෙයින් ‘ඛණ්ඩ’ නම්වේ, යමකුගේ ශික්‍ෂාපදය මැදදී බිදුණේ නම්, ඔහුගේ ශීලය මැදින් ඉරුණු සළුවක් මෙන් වන හෙයින් ජිද්ද නම්වේ, යමකුගේ ශික්‍ෂාපද දෙකතුනක් පිළිවෙළින් බිඳුණේ නම්, පිටෙහි හෝ බඩවතෙහි හෝ තැනින් තැන මතුවී පෙනෙන නොසම පැහැ ඇති, කළු රතු ආදී කිසියම් ශරීර වර්ණයක් සහිත දෙනක මෙන් වන හෙයින් සබල නම් වේ. යමෙකුගේ ශික්‍ෂාපද අතරින්පතර කඩවූයේනම්, ඔහුගේ ශීලය අතරින් පතර නොසම පැහැ ඇති තිත් සහිත දෙනක මෙන් වන හෙයින් කම්මාස නම් වේ. මේ ආකාරයෙන් ලාභාදී හේතු භේදයෙන් ඛණ්ඩ ආදී ස්වභාවය වේ.
මෙසේ සත්වැදෑරුම් මෛථුන සංයෝග වශයෙන්ද ඛණ්ඩ ආදී භාවය වේ. වදාරන ලදුයේමැයි භාග්‍යවතුන්වහන්සේ විසින්:
බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ බ්‍රහ්මචාරීයෙකු ලෙස පිළින කරමින්, මාගමක හා සමග මෛථුන සංසර්ගයට නොඑළඹෙනුයේ නමුදු, මාගමක් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැහැවීම්, හැඹීම් (සම්බාහනය) ඉවසා නම්, විඳී නම්, රිසි වේනම්, එයින් සතුටට පත්වේනම්, මෙය බ්‍රහ්මචර්යය පිළිබඳ කඩ (ඛණ්ඩ) වීමද, සිදුරු (ජිද්ද) වීමද, විසම (සබල) වීමද, ලප සහිත (කම්මාස) වීමද වේ. බ්‍රාහ්මණය, මේ තෙමේ අපිරිසුදු බ්‍රහ්මචර්යෙහි හැසිරේයයි කියනු ලැබේ. මෛථුන සංයෝගයෙන් සංයුක්තවූයේ ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් නොමිදේ, දුකින් නොමිදේයයි කියමි,
තවද බ්‍රාහ්මණය මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ පිළින කරමින් මාගමක හා සමග මෛථුන සංසර්ගයට නොඑළඹෙනුයේ නමුදු, මාගමක් විසින් කරනු ලබන ඉලීම්, පිරිමැදීම්-පෙ-නොම ඉවසනුයේ නමුදු මාගමක හා සමඟ මහත් සේ සිනාසේනම්, ක්‍රීඩා කෙරේනම් ක්‍රීඩා කරවානම් හේ තෙමේ එය ඉවසා නම්, -පෙ-දුකින් නොමිදේයයි කියමි.
තවද බ්‍රාහ්මණය. මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ-මාගමක හා සමඟ මෛථුන සංසර්ගයට නො-එළඹෙනුයේ නමුදු, මාගමක් විසින් කරනු ලබන -පෙ-නොඉවසෙනුයේ නමුදු මාගමක හා සමඟ මහත්සේ සිනා නොම සෙනුයේ නමුදු, -පෙ-මාගමකගේ ඇස තමාගේ ඇසින් දකීනම්, බලානම්, හේ තෙමේ එය ඉවසානම්-පෙ-දුකින් නොමිදේයයි කියමි,
තවද බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ-මාගමක හා සමග -පෙ-මාගමක විසින් කරනු ලබන-පෙ-මාගමකගේ-පෙ-නොබලනුයේ නමුදු, බිත්තියකට එපිටින් හෝ පවුරකට එපිටින් හෝ සිට සිනාසෙන හෝ බණන හෝ ගයන හෝ හඬන හෝ මාගමකගේ කටහඬ අසා නම්, -පෙ-හේ තෙමේ එය ඉවසා නම්-පෙ-දුකින් නොමිදේයයි කියමි,
තවද බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ-මාගමක සමග පෙ-මාගමක් විසින්-පෙ-මාගමක සමඟ-පෙ-මාගමකගේ-පෙ-හඬන හෝ පෙ-නොම අසනුයේ නමුදු, මාගමක හා සමග පෙර (ගිහිකල) කරනලද සිනාසීම්, බිණීම්, ක්‍රීඩා කිරීම්, සිහිකෙරේනම්, හේතෙමේ එය ඉවසානම්, -පෙ-දුකින් නොමිදේයයි කියමි.
තවද බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මාගමක සමග-පෙ-මාගමක විසින්-පෙ-මාගමක හා සමග-පෙර කරන ලද-පෙ-නොම සමරනුයේ නමුදු, ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ පංචකාම ගුණයෙන් යුක්තවූවහු, සමන්විත වූවහු, පිරිවරනු ලබන්නහු දැක හේ තෙමේ එය ඉවසානම්-පෙ-දුකින් නොමිදේයයි කියමි,
තවද බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ-මාගමක හා සමග-පෙ-මාගමක් විසින්-පෙ-ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ පෙ-පිරිවරනු ලබන්නහු දැක-පෙ-නොම ඉවසෙනුයේ නමුදු, කිසියම් දේවනිකාජයක් පතමින්, ‘මම් මේ ශීලය හෝ ව්‍රතය හෝ තපස හෝ බ්‍රහ්මචර්ය හෝ හේතුකොටගෙන දෙවියෙකු හෝ දෙවියෙකු වැනි කෙනෙකු හෝ වන්නෙමි’යි බ්‍රහ්මචර්යයෙහි හැසිරේනම්, හේතෙමේ එය කැමති වේනම්, එයින් තුෂ්ටියට පත්වේනම්, මෙයද බ්‍රාහ්මණය, බ්‍රහ්මචර්ය පිළිබඳව ‘ඛණ්ඩ’ ද, ‘ජිද්ද’ ද, ‘සබල’ ද, ‘කම්මාස’ ද වේ.’