චතුපාරිසුද්ධිසීල-පකිණ්ණක-කථා
මෙසේ මේ සිවුවැදෑරුම් ශීලයෙහි:- ප්රාතිමෝක්ෂ සංවර ශීලය ශ්රද්ධාව කරණකොටගෙන සැපයීය යුතුය; එය වනාහි ශ්රද්ධාවෙන් සාදා ගතයුතුය, ශික්ෂාපද පැනවීම ශ්රාවක විෂය ඉක්මවා සිටි හෙයින් එම ශික්ෂාපද පැනවීම (සඳහා අවසර පතමින් සැරියුත් තෙරුන් විසින් කරන ලද ආයාචනය) වචනයෙන්ම ප්රතික්ෂේප කිරීමද මෙහි නිදර්ශනයි. එහෙයින් යෝග්ය වූ පරිදි පනවනලද නිරවශේෂ ශික්ෂාපදය ශ්රද්ධාවෙන් සමාදන්ව ජීවිතය ගැන පවා අපේක්ෂා රහිතව මනාසේ සම්පාදනය කළයුතුය. කියනලදමැයි:
කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියං ව පුත්තං නයනං ව එකකං
තථෙව සීලං අනුරක්ඛමානකා
සුපෙසලා හොථ සදා සගාරවා
පියං ව පුත්තං නයනං ව එකකං
තථෙව සීලං අනුරක්ඛමානකා
සුපෙසලා හොථ සදා සගාරවා
කිරළා තම බිජුවට මෙන්ද, සෙමරියක් තම වලිගය මෙන්ද, (මවක්) තම ප්රිය පුත්රයා මෙන්ද, (කණකු) තම තනි ඇස මෙන්ද, ශීලය ගරුසරු ඇතිව ආරක්ෂා කෙරෙමින් සියලු කල්හි ශික්ෂාකාමී වව්.
අනෙකක්ද වදාරන ලදි. ‘මෙසේම මහරජ, ශ්රාවකයන් උදෙසා යම් ශික්ෂාපදයක් මවිසින් පනවන ලද්දේද, මාගේ ශ්රාවකයෝ ජීවිතය හේතුකොටගෙන පවා එය නොඉක්මවති’. මේ කාරණයෙහිලා සොරුන් විසින් වනයෙහි බැඳදමනලද තෙරුන්ගේ කථාවස්තූන් දතයුතුය.
මහාවත්තනි නම් වනයෙහි සොරු එක් තෙරනමක් කළුවැල්වලින් බැඳ හොවා තැබූහ. තෙරණුවෝ හෙවූ සැටියෙන්ම සත් දිනක් විදර්ශනා වඩා, අනාගාමී ඵලයට පත්ව එහිම කාලක්රියා කොට බ්රහ්ම ලෝකයෙහි උපන්හ.
අනෙක්, තෙරණු කෙනෙකු තාම්රපර්ණි දිවයිනෙහිදී කිඳිවැල්වලින් බැඳ හොවාපූහ. තෙරණුවෝ ලැව්ගිනි ඇවිල එද්දී වැල නොසිඳම විදර්ශනා වඩා ජීවිතය නිරුද්ධ වන්නා සමගම ක්ලේශප්රහාණයද කරමින් පිරිනිවන් පෑහ. දීඝභාණක අභය තෙරණුවෝ භික්ෂූන් පන්සිය නමක් සමඟ වඩින්නාහු තෙරුන්ගේ සිරුර දැක ආදාහන කරවා එහි සෑයක් කරවූහ. එහෙයින් අනෙක් සැදැහැවත් කුලපුත් තෙමේද:
පාතිමොක්ඛං විසොධෙන්තො අප්පෙව ජීවිතං ජහෙ,
පඤ්ඤත්තං ලොකනාථෙන න භින්දෙ සිලසංවරං,
පඤ්ඤත්තං ලොකනාථෙන න භින්දෙ සිලසංවරං,
ප්රාතිමෝක්ෂය පිරිසුදුව තබාගෙන ජීවිත පරිත්යාගය වුවද යෙහෙකි. ලෝකනාථයන්වහන්සේ විසින් පනවනලද ශීලසංවරය නොබිඳින්නේය.
යම්සේ ප්රාතිමෝක්ෂ සංවරය ශ්රද්ධාවෙන් සම්පාදනය කළයුතු වේද, එසේම ඉන්ද්රියසංවරය සිහියෙන් සම්පාදනය කළයුතු වේ. සිහිය හේතුකොට සාදාගතයුතුය. සිහියෙන් ඉටාගන්නාලද ඉන්ද්රියයන් අභිධ්යා ආදී පාපධර්මයනට ලුහුබැඳියහැකි නොවන හෙයිනි. එහෙයින්, ‘මහණෙනි රත්වූ ඇවිල දිලියෙන ගිනිසහිත නාරාසනයෙකින් චක්ෂුරින්ද්රිය පළහනු ලැබීම මැනවි, චක්ෂුරින්ද්රියයෙන් දැකිය යුතු රූපයන් කෙරෙහි නැවත නැවත බැලීම් වශයෙන් සුබ නිමිති ගැනීම නොමැනවි’යි ආදී නයින් දෙසනලද ආදිත්තපරියාය දේශනාව මැනවින් සිහිකොට රූපාදී අරමුණු විෂයෙහි චක්ෂුර්ද්වාරාදියෙහි පවත්නා විඤ්ඤාණය අභිධ්යාදීන් විසින් ලුහුබැඳියහැකි නිමිති ආදිය ගැනීම නොමුළාවූ සිහියෙන් වලක්වමින් මේ ඉන්ද්රිය සංවරය මැනවින් සම්පාදනය කළයුතුය. මේ ඉන්ද්රියසංවරය මෙසේ සම්පාදිත නොවූ කල්හි ප්රාතිමෝක්ෂ ශීලයද කල් පවත්නේ නොවේ. දිගුකල් සිටිනුයේ නොවේ. මනාසේ සකස් නොකළ වැට සහිත ගොයමක් මෙනි. මේ ප්රාතිමෝක්ෂ සංවරශීලය කෙලෙස් සොරුන් විසින් වනසනු ලැබේ, නොවැසූ දොරටු සහිත ගමක් ගම්පහරන්නවුන් විසින් වනසනු ලබන්නාක් මෙනි. රාගය තෙමේ මොහුගේ සිතද විනිවිද යයි, වැස්ස මනාසේ සෙවෙනි නොකළ ගෙයක් විනිවිද යන්නාක් මෙනි. කියනලද මැයි:
රූපෙසු සද්දෙසු අථො රසෙසු
ගන්ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්ද්රියං,
එතෙ හි ද්වාරා විවටා අරක්ඛිතා
හනන්ති ගාමං ව පරස්ස හාරිනො
ගන්ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්ද්රියං,
එතෙ හි ද්වාරා විවටා අරක්ඛිතා
හනන්ති ගාමං ව පරස්ස හාරිනො
යථාගාරං දුච්ඡන්නං වුට්ඨි සමතිවිජ්ඣති,
එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣති
එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣති
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මොවුන් විෂයෙහි ඉන්ද්රියයන් රකුව, නොරක්නාලද, විවෘත වූ ද්වාරයන් කරණයකොට මොවුහු (රූප ශබ්දාදිය), සොරුන් ගමක් පහරන්නාක් මෙන්, පහරති (කොල්ල කති).
යම්සේ වැස්ස මනාව සෙවිලි නොකළ ගෙයක් විනිවිද යන්නේද එසේම රාගය (භාවනාදියෙන්) නොවඩනාලද සිත විනිවිද යන්නේය.