ප්රත්යයසන්නිශ්රිත ශීලය
ඉනික්බිතිව යම් මේ ප්රත්යයසන්නිශ්රිත ශීලයක් කියනලදුයේද, එහි පටිසංඛා යොනිසො යනු, සදුපාය මාර්ගයෙන් දැන නුවණින් පිරික්සා, ප්රත්යවේක්ෂා කොට’යි යන අර්ත්ථයි. මෙහි වනාහි, සීතස්ස පටිඝාතාය (ශිතය නසනු පිණිස) ආදි නයින් කියනලද ප්රත්යවෙක්ෂණයම ‘යොනිසො පටිසඞ්ඛාය’ යනුවෙන් දතයුතුයි. එහි, චීවරං යනු, අඳනය ආදීවූ කිසිදු වස්ත්ර විශේෂයකි. පටිසෙවති යනු, පරිභෝජනය කරයි, හඳියි, නොහොත් පොරවයි. යාවදෙව යනු, ප්රයෝජන සීමාව පිරිසිඳ දක්වන වචනයි. යෝගාවචරයාහට චීවර පරිභෝගයෙහි ඇති ප්රයෝජනය මෙපමණෙක් මැයි එනම්: ශීතය නැසීම පිණිස ආදියයි, මෙයට වැඩියෙන් ප්රයෝජනයක් නැති. සීතස්ස යනු, සිරුර තුළ දොස් කිපීම් වශයෙන් හෝ බාහිරවූ සෘතුවිපර්යාසාදි වශයෙන් හෝ උපන් යම්කිසි ශීත ගුණයක්, පටිඝාතාය යනු, නැසීම පිණිස, ශරීරයෙහි ආබාධයක් නො උපදනා සේ එම ශීතය දුරුකිරීම පිණිසයි. ශරීරය ශීතයෙන් පෙළෙනවිට විසිරුණු සිත් ඇතිවන හෙයින් නුවණින් යුක්තව වීර්ය කරනු නොහැකි වේ, එහෙයින් ශීතය නැසීම පිණිස සිවුරු පරිභෝග කළයුතුයයි භාග්යවතුන්වහන්සේ අනුදැන වදාළහ. සියලු තන්හි මේ නය මැයි. මෙහි උණභස්ස යනු, හුදෙක් ගින්නෙන් උපදින තාපයයි, එම තාපය වනාහි ලැව්ගිනි ආදියෙන් උපදිති’යි දතයුතුය. ‘ඩංස-මකස-වාතා’තපසිරිංසප සම්ඵස්සානං’ යන මෙහි වනාහි, ඩංස යනු, ඩැහැ ලේ බොන මැස්සෝයි, අඳ මැස්සෝයයිද කියනු ලැබේ. මකස යනු, මදුරුවෝය, වාත යනු, දූවිලි සහිත, දූවිලිරහිත ආදි භේද ඇති වාතයයි, ආතප යනු ඉර අව්වයි. සිරිංසප යනු, ඇදෙමින් යන දික්සිරුරු ඇති සර්ප ආදීහුයි. ඔවුන්ගේ ස්පර්ශය නම් ඩැසීමෙන් හෝ වෙර තැවරීමෙන් දෙ-ආකාරයෙකින් සිදුවන ස්පර්ශයයි. සිවුරු හැඳ පොරවා හුන්නහුට සර්පස්පර්ශයෙන් පීඩා නොවේ. එහෙයින් එබඳු තන්හිදී ඒ ඒ ගැහැට දුරු කරනු පිණිස සිවුරු පරිභෝග කරනු ලැබේ. යාවදෙව යනු, නැවතත් නියත ප්රයෝජන සීමාව පිරිසිඳ දක්වනු පිණිසයි. ලජ්ජාව දනවන අඟපසඟ මුවහ කිරීම නියත ප්රයෝජනයයි, සෙසු ප්රයෝජනයෝ කවර කවර විටෙක හෝ වෙති. එහි හිරිකොපීන යනු ඒ ඒ සම්බාධස්ථානයි. යම් යම් අඟපසඟක් විවෘත කැරෙනවිට ලජ්ජාව හටගනීද, නැතහොත් එය නැසේද, ඒ ඒ අඟපසඟ ලජ්ජාව කුප්වන හෙයින් හිරිකොපීනයයි කියනු ලැබේ, එම හිරිකොපීනය වසා තබනු පිණිසැ’යි හිරිකොපීන පටිච්ඡාදනත්ථං’ යයි කීහු. හිරිකොපීනං පටිච්ඡාදනත්ථං යනුද පාඨයි.
පිණ්ඩපාතං යනු, කිසියම් ආහාරයෙකි, යම්කිසි ආහාරයක් භික්ෂා චර්යාවෙහිදී භික්ෂු කෙනෙකුගේ පාත්රයෙහි බහාලන ලදුයේ පිණ්ඩපාතයයි කියනු ලැබේ. පිඬු වශයෙන් එකතුවූයේ පිණ්ඩපාතයි. ඒ ඒ තැනින් ලද භික්ෂාවන්ගේ සන්නිපාතයැ’යි සමූහයැ’යි කී සේයි. නෙව දවාය යනු, ගැමිදරුවන් සෙයින් කෙළි පිණිස නොවේ, ක්රීඩාවට නිමිත්තක් නොවේයයි කීසේයි. න මදාය යනු, මුෂ්ටිමල්ලවාදීනට සෙයින් මද පිණිස නොවේ, බලය නිසා උපදනා මදයට හෝ පෞරුෂය නිසා හටගන්නා මදයට නිමිති නොවේයයි කී නියායි. න මණ්ඩනාය යනු, අන්තඃපුර ස්ත්රීනට හෝ ගණිකා ස්ත්රීනට මෙන් සැරසිලි පිණිස නොවේ. අංගප්රත්යංග පෝෂණයට නිමිති නොවේයයි කීසේයි. න විභූසනාය යනු, නට- නර්තකාදීනට සෙයින් අලංකාර පිණිස නොවේ, පහන් සිරුරු පැහැයට නිමිති නොවේයයි කීසේයි. මෙහි වනාහි ‘නෙව දවාය’ යන මෙය මෝහයට උපනිශ්රය නසනු පිණිස කියනලදි. ‘න මදාය’ යනු, ද්වේෂයට උපනිශ්රය නසනු පිණිසද ‘න මණ්ඩනාය, න විභූසනාය’ යන මෙය රාගයට උපනිශ්රය නසනු පිණිසද කියනලදි. ‘නෙව දවාය න මදාය’ යන මෙය තමා පිළිබද සංයෝජනයන්ගේ උපත ප්රතිෂේධ කරනු පිණිසද, ‘න මණ්ඩනාය න විභූසනාය’ යන මෙය අනුන් පිළිබඳ වූ සංයෝජනයන්ගේ උපත ප්රතිෂේධ කරනු පිණිසද කියනලදි. මේ සතරින්ම අනුපාය ප්රතිපත්තියෙහිද, කාමසුඛල්ලිකානුයෝගයෙහිද ප්රහාණය කියන ලදැ’යි දතයුතුය.
යාවදෙව යනු, පළමු කියනලද අර්ත්ථයෙහි මැයි. ඉමස්ස කායස්ස යනු, චතුර් මහාභූතයන්ගෙන් උපන් මේ රූපකායයෙහි, ඨිතියා යනු, බැඳී පවතිනු පිණිස, යාපනාය යනු, දිවිපැවැත්ම පිණිස, නොසිඳීම පිණිස, බෝකල් සිටිනු පිණිස හෝ වේ. දිරාපත් ගෙයක හිමිකරුවකු ගෙයට මුක්කු ලන සෙයින්ද, ගැල්කරුවකු අක්ෂයෙහි ලිහිසි තෙල් යොදන සෙයින්ද, කයෙහි පැවැත්ම පිණිසද, යැපීම පිණිසද, පිණ්ඩපාතය පරිභෝග කරයි. කෙළි පිණිස, මද පිණිස, සැරසීම පිණිස, අලංකරණය පිණිස පරිභෝග නොකරයි. තවද ඨිති යන මෙය ජීවිතේන්ද්රියට පර්යාය වචනයෙකි, එහෙයින් ‘ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය’ යනු මෙතෙකින් මේ කයෙහි ජීවිතේන්ද්රියය පවත්වා ගැනීම පිණිසැ’යි කියන ලදුයේයයි දත යුතුය. විහිංසූපරතියා යනු. විහිංසා නම් සාගිනියි, රෝගාබාධ ඇති කරන හෙයිනි. එම විහිංසා ආබාධය සන්සිඳුවනු පිණිස පිණ්ඩපාතය පරිභෝග කරයි, වණයෙක්හි බෙහෙත් ගල්වන සෙයින්ද, උෂ්ණ ශීතාදිය ඇති කල එයට ප්රතිකාර සලස්වන සෙයින්ද, පිණ්ඩපාතය පරිභෝග කරයි. බ්රහ්මචරියානුග්ගහාය යනු, සියලු ශාසන බ්රහ්මචර්යාවටද, මාර්ග බ්රහ්මචර්යාවටද, අනුග්රහ පිණිස, මේ තෙමේ පිණ්ඩපාත පරිභෝග හේතුවෙන් කායබලය ලැබ ශික්ෂාත්රයයෙහි යෙදීම් වශයෙන් සසර කතර තරණය කරනු පිණිස පිළිපන්නේ බ්රහ්මචර්යාවට අනුග්රහ පිණිස පිණ්ඩපාතය පරිභෝග කරයි. කාන්තාර තරණය කරනු කැමැති දෙ-මහල්ලන් (අතර මගදී මළ) පුතුගේ මාංශය මෙන්ද, ගඟෙකින් එතෙර යනු කැමැත්තන් පසුරක් මෙන්ද, මුහුදින් එතෙර යනු කැමැත්තන් නැවක් මෙන්ද (සසර කතර තරණය කරනු කැමැත්තෝ පිණ්ඩපාතය උපයෝග කර ගනිති.)