ආජීව පාරිසුද්ධිශීලය
ඉක්බිති ඉන්ද්රියසංවරශීලයට පසුව දක්වන ලද ආජීව-පාරිශුද්ධි ශීලයෙහි: ආජීවය හේතුකොට පනවනලද ශික්ෂාපද සයෙහි යනු, ‘ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා ලාමක අදහස් ඇතිව, තෘෂ්ණාවට වසඟව, තමා කෙරෙහි අවිද්යාමාන වූ, නොවූවිරූ, උතුරුමිනිස්දම් ඇතැයි ප්රකාශ කෙරේද, ඔහුට පාරාජිකාපත්තිය වන්නේය, ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා, සංචරණ භාවයට (ස්ත්රී පුරුෂයන් අතර පණිවුඩ ගෙනයන්නකු බවට) පත්වේද, ඔහුට සංඝාදිසේස ආපත්තිය වන්නේය. ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා, ‘ඔබගේ විහාරයෙහි වෙසෙන භික්ෂුතෙමේ රහත් කෙනෙකි’යි එම වාක්යයෙහි අර්ත්ථය දන්නකුට පවසාද, ඔහුට ථුල්ලච්චය නම් ආපත්තිය වන්නේය. ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා, මහණෙක් තෙමේ නොගිලන්ව ප්රණීත භෝජනයක් තමා පිණිස ඉල්වාගෙන පරිභෝග කෙරේද, ඔහුට පාචිත්තිය නම් ආපත්තිය වන්නේය. ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා මෙහෙණියක් තොමෝ නොගිලන්ව ප්රණීත භෝජනයක් තමා පිණිස ඉල්වාගෙන පරිභෝග කරයිද ඇයට පාටිදෙසනීය නම් ආපත්තිය වන්නේය, ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා, නොගිලන්ව සූපයක් හෝ බත් තම පිණිස ඉල්වාගෙන පරිභෝග කෙරේද (ඒ මෙහෙණියට) දුක්කටාපත්තිය වන්නේය’යි මෙසේ පනවන ලද ශික්ෂාපද සයෙහිය.
‘කුහනා’ යන ආදියෙහි පෙළ මෙසේය: එහි කුහනා යනු කිමෙක්ද? ලාභ සත්කාර කීර්ති විෂයෙහි ගිජු වූ, ලාමක අදහස් ඇති, ආශාවෙන් මඩනා ලද්දහු විසින් කුහක ලෙස සිවුපසය පිළිකෙව් කිරීම් වශයෙන් හෝ ළංවී කියන රැවටිලිබස් වශයෙන් හෝ යම් ඉරියවු නොපැවැත්වීමක් හෝ පැවැත්වීමක්, තබන ආකාරයක්, සකසා තැබීමක්, බැම හැකිලීමක්, හකුලුවන ආකාරයක්, හකුලුවන බවක්, විස්මය දැනවීමක්, විස්මය පැවැත්වීමක්, කුහක බවක් වේනම් මේ කුහනායයි කියනු ලැබේ.
එහි ලපනා යනු කිමෙක්ද? ලාභසත්කාර කීර්ති විෂයෙහි ගිජුවූ, ලාමක අදහස් ඇති, ආශාවෙන් මඩනා ලද්දහු විසින් අනුන්හට යම් පළමුව බිණීමක්, පසුව බිණීමක්, මිහිරකොට බිණීමක්, උසස්කොට බිණීමක්, සැම අතින්ම උසස් කොට බිණීමක්, නැවත නැවත බැඳගැනීමක්, සැම අතින්ම බැඳ ගැනීමක්, උසස්කොට හැඟවීමක්, සැම අතින්ම උසස්කොට හැඟවීමක්, පිය තෙපුල් බිණීමක්, ඉච්චාබස් බිණීමක් සැබෑ නොසැබෑ මුසු බස් බිණීමක්, දරුවන් නැළවීම් වැනි ක්රියාවක් වේනම්, මේ ලපනායයි කියනු ලැබේ.
එහි නෙමිත්තිකතා යනු කිමෙක්ද? ලාභසත්කාර කීර්ති ප්රශංසා විෂයෙහි ගිජුවූ, ලාමක අදහස් ඇති තෘෂ්ණාවෙන් මඩනා ලද්දහු විසින් අනුන්හට ඉඟිකොට යම් නිමිති බස් බිණීමක්, ඉඟි කිරීමක්, අවහාසයක් (එළියක්), අවහාස ඇතිවන ක්රියාවක්, අදහස ආශ්රයෙන් ඇවටිලි බස් කීමක්, කරුණ වටා වචන කීමක් වේනම් මේ නෙමිත්තිකතා යයි කියනු ලැබේ.
එහි නිප්පේසිකතා යනු කිමෙක්ද? ලාභ සත්කාර කීර්ති විෂයයෙහි ගිජුවූ, ලාමක අදහස් ඇති තෘෂ්ණායෙන් මඩනා ලද්දාහු විසින් මෙරමාහට යම් ආක්රෝශ කිරීමක්, නින්දා කිරීමක්, ගැරහීමක්, උසස්කොට බිණීමක්, සැම අතින්ම උසස්කොට තැබීමක්, සිනා ගැන්වීමක්, සෑම අතින්ම සිනා ගැන්වීමක්, ගුණ ගැයීමක්, සෑම අතින්ම ගුණ ගැයීමක්, නුගුණ පැතිරවීමක්, ළඟ නැති විට නුගුණ කීමක් වේ නම් මේ නිප්පේසිකතා යයි කියනු ලැබේ.
එහි ලාභෙන ලාභං නිජිගිංසනතා යනු කිමෙක්ද? ලාභ සත්කාර කීර්ති විෂයෙහි ගිජුවූ, ලාමක අදහස් ඇති, තෘෂ්ණායෙන් මඩනා ලද්දේ මෙතැනින් ලත් ආමිෂය එතැනට ගෙනගොස් දෙයි, එතැනින් ලත් ආමිෂය මෙතැනට ගෙනවුත් දෙයි, මෙබඳුවූ ආමිෂය සෙවීමක්, ගවේෂණයක් නැවත නැවත සෙවීමක් වේනම් මේ ‘ලාභෙන ලාභං නිජිගිංසනතා’ (ලාභයෙන් ලාභ සෙවීම) යයි කියනු ලැබේ.’
මෙම පෙළෙහි අරුත් වනාහි මෙසේ දතයුතුය. පළමුකොට කුහනා නිද්දේසයෙහි පටන් පිළිවෙළින් ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස යනු, ලාභයද සත්කාරයද, කීර්තිඝෝෂයද කෙරෙහි ගිජුවූවහුගේ, පතන්නහුගේයි යන අර්ත්ථයි. පාපිච්ඡස්ස යනු, තමා කෙරෙහි ඇති ගුණ පහළ කරනු කැමැත්තහුගේ, ඉච්ඡාපකතස්ස යනු, තෘෂ්ණායෙන් මඩනා ලද්දහුගේයි, ආජීවෝපද්රවයට පත්වූවහුගේයි යන අර්ත්ථයි.
මෙතැන් පටන්, යම්හෙයකින් සිවුපස පිළිකෙව කිරීම් ළංව සිට කරුණ වටා තෙපලීම්, ඉරියව් මඟින් ඇඟවීම් වශයෙන් මහානිද්දෙසයෙහි ත්රිවිධ වූ කුහන වස්තුවෙක් ආයේද, එහෙයින් මෙම ත්රිවිධ වූ කුහන වස්තුව දක්වනු පිණිස ‘පච්චයපටිසෙධන සංඛාතෙන වා’ යන මේ ආදිය ආරබ්ධයි. එහි චීවරාදියෙන් නිමන්ත්රණය කරන ලද කල්හි පිළිගනු රිසිය ඇතිව පවා, ලාමක අදහස් හේතුකොටගෙන පිළිකෙව් කිරීමෙන්, එම දායක ගෘහපතියන් තමා කෙරෙහි පිහිටි දැඩි ශ්රද්ධා ඇත්තවුන්බව දැන, නැවත ඔවුන් ‘විස්මයෙකි! ආර්යයන් වහන්සේ අල්පේච්ඡයහ, කිසිවක් පිළිගනු නොරිසියහ, සුලුයමක් හෝ පිළිගන්නාහුනම් අපට මහත් ලාභයෙක් වන්නේය’යි නොයෙක් උපායෙන් ප්රණීත වූ චීවරාදිය එළවන කල්හි, හුදෙක් ඔවුනට අනුග්රහ කිරීමේ කැමැත්තම අඟවා පිළිගැනීමෙන් එතැන් පටන් ගැල්බරින් පවා එළවීමට හේතුවන සේ විස්මයපත් කරවීම ප්රත්යය ප්රතිශේධන සංඛ්යාත කුහන වස්තුවයයි දතයුතුය. මහානිද්දේසයෙහි කියනලදුයේමැයි:
‘ප්රත්යයප්රතිසේධන සංඛ්යාත කුහන වස්තුව නම් කවරේදයත්, මෙහි දායක ගෘහපතියෝ චීවර-පිණ්ඩපාත-සේනාසන, ගිලානප්පච්චය, භෙසජ්ජපරික්ඛාරයෙන් භික්ෂුවකට නිමන්ත්රණය කෙරෙති, ඒ භික්ෂුතෙමේ ලාමක අදහස් ඇතිව, ආශාවෙන් මඩනාලදුව චීවරාදී පරිෂ්කාරයන් ලබනු කැමැතිව පවා වැඩි වැඩියෙන් ලබන රිසියෙන් චීවර-පෙ-පරිෂ්කාරයන් ප්රතික්ෂේප කරයි, හේ මෙසේ පවසයි, ‘ශ්රමණයකුට මහඟු සිවුරෙකින් පල කිම? ඉදින් ශ්රමණ තෙමේ සොහොන් බිමින් හෝ කසල ගොඩින් හෝ සල්පිල් දොරින් හෝ රෙදි කැබැලි අවුලාගෙන සඟළ සිවුරුකොට දරන්නේනම් එයම සුදුසු වන්නේය, ශ්රමණයකුට මහඟු පිණ්ඩපාතයෙන් කම් කිම? ඉදින් ශ්රමණ තෙමේ ගෙපිළිවෙළින් පිඬුසිඟා ගොස් ලබන පිණ්ඩපාත ආහාරයෙන් ජීවිකාව කෙරේ නම් එයම සුදුසු වන්නේය, ශ්රමණයකුට මහඟු සේනාසනයෙන් කම් කිම? ඉදින් ශ්රමණතෙමේ රුක්මුල්හි වසන්නෙක් හෝ අභ්යවකාශයෙහි වසන්නෙක් වන්නේනම් එයම සුදුසු වන්නේය, ශ්රමණයකුට මහඟු ගිලන්පස, බෙහෙත් පිරිකරින් කම් කිම? ඉදින් ශ්රමණතෙමේ ගෝමූත්රයෙන් හෝ අරළු කැබැල්ලෙකින් බෙහෙත් කරන්නේනම් එයම සුදුසු වන්නේය. හේ එතැන් පටන් දළ සිවුරු දරයි, කටුසර බොජුන් වළදයි, දළ සෙනසුන් පරිභෝග කරයි, දළ ගිලන්පස, බෙහෙත් පිරිකර ගනියි. ගෘහස්ථ දායක ජනයා ඔහු මෙසේ හැඳිනගනිති: මේ ශ්රමණතෙමේ අපිස් ගුණයෙන් යුක්තය, සතොස් ගුණයෙන් යුක්තය, විවේකයෙහි ඇලුණේය, කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නොඇලුණේය, ඇරඹි වීර්යය ඇත්තේය, ධුතංගගුණ පවසන්නේයයි වැඩි වැඩියෙන් සිවුරු-පෙ-බෙහෙත් පිරිකරින් පවරති. ඒ ශ්රමණතෙමේ මෙසේ කියයි: ‘කරුණු තුනක් එක් වීමෙන් සැදැහැවත් කුලපුත්තෙමේ බොහෝ පින් රැස් කරයි, දීමට සුදුසු දානවස්තු -පෙ- දක්ෂිණාව ලැබීමට සුදුසු ප්රතිග්රාහකයන් හමුවීමෙන් සැදැහැවත් කුලපුත් තෙමේ පෙ-පින් රැස්කරයි, ඔබට මෙකී ශ්රද්ධාව ඇත, දීමට සුදුසු දාන වස්තුද ඇත, මමද සුදුසු ප්රතිග්රාහකයෙක් වෙමි, ඉදින් මම් නොපිළිගන්නෙම් නම් ඔබ පිනට අහිමි වන්නාහුය, මට නම් මෙයින් පලෙක් නැත, එතෙකුදු වුවත් ඔබ කෙරෙහි අනුකම්පායෙන්ම පිළිගන්නෙමි’යි එතැන් පටන් බොහෝ සිවුරුද, පිළිගන්නේය, බොහෝ පිණ්ඩපාතයද පිළිගන්නේය, -පෙ-බෙහෙත් පිරිකරද පිළිගන්නේය. මේ ආකාර වූ යම් බැම හැකිලීමක්, මුහුණ හැකිලවීමක්, විස්මය දැනවීමක්, විස්මය පැවැත්වීමක්, විස්මයට පත්කරවීමේ ස්වභාවයක් වේනම්, මෙය සිවුපස පිළිකෙව් කිරීම් සංඛ්යාත කොහොන් වතයයි කියනු ලැබේ.’