ඉන්‍ද්‍රියසංවර ශීලය
අනතුරුව ‘සො චක්‍ඛුනා රූපං දිස්වා’ යන ආදී නයින් යමක් දක්වන ලද්දේ ද, ඒ ඉන්‍ද්‍රියසංවරශීලයයි. එහි සො යනු, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙහි පිහිටි ඒ භික්‍ෂු තෙමේයි. ‘චක්‍ඛුනා රූපං දිස්වා’ යනු කාරණා වශයෙන් ‘චක්‍ඛු’ යයි ව්‍යවහාරයට පත් රූප දර්ශනයට සමත් චක්ඛුවිඤ්ඤාණයෙන් යන රූපයන් දැක, පුරාණාචාර්යවරයෝ වනාහි මෙසේ කීහු: ඇස රූප නොදකියි, අචේතනික වූ හෙයිනි, සිතද නොදකියි, ඇසක් නොවන හෙයිනි, ද්වාරය ආරම්මණය යන දෙක්හි ගැටීමක් ඇතිවිට චක්ඛුප්පසාදවත්‍ථුක වූ සිතින් දැකීම සිදුවේ. මෙබඳු වූ මෙය වනාහි, ‘දුන්නෙන් විදියි’ යන ආදියෙහි මෙන් ගම්‍යාර්ත්‍ථවත් කියමනෙකි. එහෙයින් චක්ඛු විඤ්ඤාණයෙන් රූපයක් දැකැ’යි යන මෙයම මෙහි අර්ත්‍ථයි. න නිමිත්තග්ගාහී යනු, ස්ත්‍රී පුරුෂ ආදි වශයෙන් හෝ ශුභ අශුභ ආදී වශයෙන් හෝ කෙලෙස් ඉපැදීමට වස්තුභූත වූ නිමිති නොගනියි, දුටු පමණින්ම නවතියි. නානුබ්‍යඤ්ජනග්ගාහී යනු, කෙලෙසුනට ලකුණු වන හෙයින්, ප්‍රකටබව ඇතිකරවන හෙයින් අනුඛ්‍යඤ්ජනයයි ව්‍යවහාරයට පත් අත් පා මඳසිනා මහසිනා බිණීම් බැලීම් ආදී නොයෙක් ආකාරයන් සිතට නොගනියි, එහි ඇති යථාස්වරූපයක් ගනියි. සෑගිරි වැසි මහතිස් තෙරුන් මෙනි.
තෙරුන් සෑගිරියෙහි සිට පිඬු පිණිස අනුරාධපුරය දෙසට එද්දී, එක්තරා කුලගෙයක ලෙහෙළිය සිය සැමියා සමග කලහකොට, මනාව හැදපැළඳ දෙවඟනක මෙන් සැරසී, වේලාසනින්ම අනුරාධපුරයෙන් නික්ම සිය නෑයන්ගේ ගෙට යන්නී අතරමඟදී තෙරුන් දැක කැළඹුණ සිතින් හඬනගා සිනාසුණාය. තෙරණුවෝ ‘මේ කිමෙක්දැ’යි බලන්නාහු ඇයගේ දත් ඇට කෙරෙහි අශුභ සංඥා ලැබ රහත්බවට පැමිණියාහ. එහෙයින් කියන ලදි,
‘තස්සා දන්තට්ඨිකං දිස්වා පුබ්බසඤ්ඤං අනුස්සරි,
තත්‍ථෙව සො ඨිතො ථෙරො අරහත්තමපාපුණි’
ඇයගේ දත් ඇට දැක පෙර හුරුපුරුදු අශුභ සංඥාව සිහිපත් කළහ. ඒ තෙරණුවෝ එහි සිටිවනම රහත්බවට පැමිණියාහ.
ඇයගේ සැමියාද ඇය ගිය මග අනුව යමින් තෙරුන් දැක, ‘ස්වාමීනි, කිසියම් ස්ත්‍රියක යනු දුටුදැ’යි විමසීය. තෙරණුවෝ ඔහුට මෙසේ කීහ:
‘නාභිජානාමි ඉත්‍ථි වා පුරිසො වා ඉතා ගතො,
අපි ච අට්ඨිසංඝාටො ගච්ඡතෙස මහාපථෙ’
ස්ත්‍රියක්ද පුරුෂයෙක්දැ’යි නොදනිමි, එහෙත් මෙතැනින් ගිය තෙල ඇට ගොඩ (තවමත්) මහමග යයි.
යත්‍වාධිකරණමෙතං යන ආදියෙහි, යම් කරුණක් නිසා චක්‍ෂුරින්‍ද්‍රිය අසංවරයක් හේතුකොට, සිහි නමැති පියන්පතින් නොවැසූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇතිව, නොපියනලද චක්‍ෂුද්වාර ඇතිව හැසිරෙන පුද්ගලයා වෙත අභිධ්‍යාදීවු මේ ක්ලේශධර්මයෝ ගලා එත්ද, වැල නොකැඩී එත්ද, තස්ස සංවරාය පටිපජ්ජති යනු, ඒ චක්‍ෂුරින්‍ද්‍රිය සිහි නමැති පියන් පතින් වසනු පිණිස පිළිපදියි, මෙසේ පිළිපදිනුයේම චක්‍ෂුරින්‍ද්‍රිය රකියි, චක්‍ෂුරින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේයයිද කියනු ලැබේ. එහිලා චක්‍ෂුරින්‍ද්‍රිය පිළිබඳව කිසිදු සංවරයෙක් හෝ අසංවරයෙක් නැත, චක්‍ෂුඃප්‍රසාදය නිසා සිහිය හෝ සිහිමුළාව හෝ සිදු නොවේ. එසේ වතුදු, රූපාරම්මණයක් චක්‍ෂුඃපථයට පැමිණිවිට භවාංගචිත්තය දෙවරක් ඉපිද නිරුද්ධ වූ පසු කිරියමනොධාතුව ආවර්ජන කෘත්‍යය සිදුකෙරෙමින් ඉපිද නිරුද්ධ වේ, ඉක්බිති චක්‍ෂුර්විඥානය දර්ශනකෘත්‍යයද, විපාකමනෝධාතුව ප්‍රතිග්‍රහණකෘත්‍යයද, අනතුරුව විපාකඅහේතුක මනෝවිඤ්ඤාණධාතුව සන්තීරණකෘත්‍යයද, ඉන් ඉක්බිතිව කිරියඅහේතුක මනෝවිඤ්ඤාණධාතුව ව්‍යවස්ථාපනකෘත්‍යයද සපුරාලමින් ඉපිද නිරුද්ධ වී යයි. අනතුරුව ජවනචිත්තය දිවෙයි.
එහිද භවාංග අවස්ථාවෙහිදී හෝ, ආවර්ජනාදී අන් අවස්ථාවෙක්හිදී හෝ සංවරයෙක් හෝ අසංවරයෙක් සිදු නොවේ. ජවනක්‍ෂණයෙහිදී වනාහි, ඉදින් දුසිල්බවක් හෝ සිහිමුළාබවක් හෝ අනවබෝධයක් හෝ අසහනයක් හෝ, අලසබවක් හෝ ඉපැදුණහොත් අසංවරය ඇතිවේ. මෙසේවූ කල්හි වනාහි ඒ තෙමේ චක්‍ෂුරින්‍ද්‍රිය විෂයෙහි අසංවෘතයෙකැ’යි කියනු ලැබේ. කවර හෙයින්ද යත්, එසේවූ කල චක්‍ෂූර්ද්වාරයද, භවාංගයද, ආවර්ජනාදී විථිචිත්තයන්ද නොරක්නාලද හෙයිනි. කුමක් මෙන්දයත්, නගරයෙක සතර වාසල් නොවසනලද කල්හි, එහි ඇතුළත ගේදොර, කොටු ගබඩා ආදිය කෙතරම් රක්නා ලද්දේවුවද, නගරය තුළ පිහිටි සියලු බඩු නොරක්නා ලද්දේමැයි, නගරද්වාරයෙන් පිවිස සොරුන්ට තමන් කැමති දෙයක් කළ හැකිය. එසේම ජවන අවස්ථාවෙහි දුසිල්බව ආදිය උපන් කල්හි, එහි අසංවරබව ඇති කල්හි ද්වාරයද, භවාංගයද, ආවර්ජනාදී වීථිචීත්තයෝද නොරක්නා ලද්දාහු වෙති.
එහි (ජවනාවස්ථාවෙහි) ශීලාදිය උපන් කල්හි, ද්වාරයද, භවාංගයද, ආවර්ජනාදී වීථිචිත්තයෝද, රක්නාලද්දාහු වෙති. කුමක් මෙන්දයත්, නගරයක වාසල් මනාසේ රක්නාලද කල්හි එහි ඇතුළත පිහිටි ගේදොර නොරක්නා ලද්දේවුවද, නගරය තුළ පිහිටි සියලු දෙය සුරක්‍ෂිතවූයේ සුගෝපිතවූයේද වේ. නගරද්වාරයන් වසනලද කල්හි සොරුන් පිවිසීමෙක් නැත. එමෙන්ම ජවනාවස්ථායෙහි ශීලාදිය උපන් කල, ද්වාරයද, භවාංගයද, ආවර්ජනාදී වීථි චිත්තයෝද රක්නාලද්දාහු වෙති, එහෙයින් ජවනක්‍ෂණයෙහි උපදිනුයේම චක්‍ෂුරින්‍ද්‍රියසංවරයයි කියනු ලැබේ.