ප්රාතිමෝක්ෂා සංවරශීලය
එම සිවුවන චතුෂ්කයෙහි මුල පටන් අනු පිළිවෙළින් පදවර්ණනාව හා සමග විනිශ්වය විභාගය මෙසේයි: ඉධ යනු, මේ ශාසනයෙහි, භික්ඛු යනු, සසර බිය දක්නා හෙයින්, නොහොත්, කැබැලිකළ වස්ත්රාදිය දරන බැවින්, එනමින් ව්යවහාරයට පත් වූ ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූ, ශ්රද්ධාවෙන් පැවිදි බවට පත් කුලපුත් තෙමේ, පාතිමොක්ඛසංවර සංවුතො යන මෙහි පාතිමොක්ඛ යනු, ශික්ෂාපද ශීලයයි, එය වනාහි යමෙක් එය රක්නේද, ආරක්ෂා කරනුයේද, ඔහු අපාය ආදී දුකින් ගලවයි, මුදවයි, එහෙයින් ‘පාතිමොක්ඛ’ යයි කියනු ලැබේ. මනාකොට ඇවිරීම සංවරයයි, මෙය කායිකවූද, වාචසිකවූද සීමා නොඉක්මවීම හඟවන නමෙකි, පාතිමොක්ඛයම සංවර වෙති’යි පාතිමොක්ඛසංවර නමි, එම පාතිමොක්ඛ සංවරයෙන් සංවෘතවූයේ ‘පාතිමොක්ඛසංවුත’ නමි, එයින් යුක්ත වූයේ, සමන්විත වූයේයි යන අර්ත්ථයි. විහරති යනු, ඉරියව්වල යෙදෙයි. ආචාරගොචරසම්පන්නො යන ආදියෙහි අර්ත්ථය පෙළෙහි ආ නයින්ම දත යුතුය, කියනලදමැයි:
‘ආචාරගොචර සම්පන්නො’ යනු, ආචාරයෙක් ඇත, අනාචාරයෙක්ද ඇත,
එහි අනාචාර යනු කිමෙක්ද? කායික ව්යතික්රමණය, වාචසික ව්යතික්රමණය, කායික, වාචසික ව්යතික්රමණය යන මේ අනාචාරයයි කියනු ලැබේ. සියලු ආකාර දුසිල්බව අනාචාරයයි. මේ සස්නෙහි යම් කිසිවෙක් හුණ දීමෙන් හෝ පලාකොළ දීමෙන් හෝ, මල් දීමෙන් හෝ ගෙඩි දීමෙන් හෝ, නහනසුණු දීමෙන් හෝ, දහැටිදඬු දීමෙන් හෝ රැවටිලි බස් තෙපලීමෙන් හෝ, සැබෑ නොසැබෑ මුසු බස් වැහැරීමෙන් හෝ දරුවන් නැළවීමෙන් හෝ, පණිවුඩ පනත් ගෙනයාමෙන් හෝ බුදුන් විසින් පිළිකෙව් කරනලද අන් කිසි සදොස් ක්රියාවෙකින් හෝ ජීවිකාව කෙරෙත්ද, මේ අනාචාරයයි කියනු ලැබේ.
එහි ආචාර යනු කිමෙක්ද? කායික අව්යතික්රමණය, වාචසික අව්යතික්රමණය, කායික, වාචසික අව්යතික්රමණය, යන මේ ආචාරයයි කියනු ලැබේ. සියලු ආකාර ශීලසංවරය ආචාරයයි. මේ සස්නෙහි යම් කිසිවෙක් හුණ දීමෙන් හෝ, පලාකොළ දීමෙන් හෝ, මල් දීමෙන් හෝ, ගෙඩි දීමෙන් හෝ, නහනසුණු දීමෙන් හෝ, දැහැටිදඬු දීමෙන් හෝ, රැවටිලිබස් දෙඩීමෙන් හෝ, සැබෑ නොසැබෑ මුසු බස් වැහැරීමෙන් හෝ, දරුවන් නැළවීමෙන් හෝ, පණිවුඩපනත් ගෙනයාමෙන් හෝ, බුදුන් විසින් පිළිකෙව් කරනලද අන් කිසි සදොස් ක්රියාවෙකින් හෝ ජීවිකාව නොකෙරෙත්ද, මේ ආචාරයයි කියනු ලැබේ.
ගොචරො යනු: ගෝචරයෙක් ඇත, අගෝචරයෙක්ද ඇත.
එහි අගෝචර යනු කිමෙක්ද? මේ සස්නෙහි යම් කිසිවෙක් ගණිකාවන්ගේ හෝ, සැමියන් මළ කතුන්ගේ හෝ, අවිවාහක වියපත් කතුන්ගේ හෝ, නපුංසකයන්ගේ හෝ මෙහෙණින්ගේ හෝ, මත්පැන්හල්වල හෝ ඇසුරට පත්වේද, රජුන් සමඟ හෝ රජමහඇමතියන් සමග හෝ තීර්ත්ථකයන් සමඟ හෝ, තීර්ත්ථක ශ්රාවකයන් සමඟ හෝ නොසුදුසු ඇසුරට පත්ව හැසිරෙත්ද, සැදැහැ නැති, නොපහන්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්හට දියපොදක් නොදෙන, ආක්රෝශපරිභව බෙණෙන, අවැඩ කැමති, අහිත කැමති, අපහසු කැමැති, අවිමුක්ති කැමති කුලයන් සේවනය කෙරෙත්ද, ඇසුරු කෙරෙත්ද, නිරතුරු එලඹ සිටීම කෙරෙත්ද, මේ අගෝචරයයි කියනු ලැබේ.
එහි ගෝචර යනු කිමෙක්ද? මේ සස්නෙහි යම් කිසිවෙක් ගණිකාවන්ගේ හෝ සැමියන් මළ කතුන්ගේ හෝ, අවිවාහකව වියපත් කතුන්ගේ හෝ නපුංසකයන්ගේ හෝ, මෙහෙණින්ගේ හෝ, මත්පැන්හල්වල හෝ ඇසුරට පත් නොවෙත්ද, රජුන් සමග හෝ -පෙ-තීර්ත්ථක ශ්රාවකයන් සමග හෝ නොසුදුසු ඇසුරෙන් ඉවත්ව හැසිරෙත්ද, සැදැහැති පහන්සිත් ඇති උතුරායන ලිඳක් මෙන් සනහන, කසාවතින් බැබලෙන, භික්ෂූන් යන එන ගමනින් සැලෙන පවන් ඇති, භික්ෂු, භික්ෂුණී උපාසක උපාසිකාවන්හට වැඩ කැමති, -පෙ- විමුක්ති කැමති කුලයන් සේවනය කෙරෙත්ද, ඇසුරු කෙරෙත්ද, නිරතුරු එළඹ සිටීම කෙරෙත්ද මේ ගෝචරයයි කියනු ලැබේ. මෙසේ මෙවන් ආචාරයෙන්, මෙවන් ගෝචරයෙන් උපේතවූයේ, සමුපේතවූයේ, උපගතවූයේ, සමුපගතවූයේ, යුක්තවූයේ සංයුක්තවූයේ සමන්විතවූයේද, එහෙයින් ආචාරගෝචරසම්පන්නයයි කියනු ලැබේ.’
තවද, මෙහි ආචාරගෝචරයන් මෙම නයින්ද දතයුතුය: අනාචාරය කායික වාචසික වශයෙන් දෙආකාර වේ. එහි කායික අනාචාරය නම් කිමෙක්ද? මේ සස්නෙහි යම්කිසිවෙක් සංඝයා මැඳට ගිය කල්හිද, බුහුමන් නැතිව වැඩිමහලු භික්ෂූන් හා ගැටෙමින් සිටිත් නම්, හිඳිත් නම්, ඉදිරියෙන්ද සිටිත් නම් හිඳිත් නම්, උසසුන්වල හිදිත්නම්, හිස පටන් පොරවාගෙන හිඳිත් නම්, සිටුවාගෙන බෙණෙත් නම්, අත් දිගු කරමින් බෙණෙත් නම්, වැඩිමහලු භික්ෂූන් පාවහන් නැතිව සක්මන් කරද්දී පාවහන් සහිතව සක්මන් කරත් නම්, පහළ මලුවෙක්හි සක්මන් කරද්දී ඉහළ මලුවෙක්හි සක්මන් කරත්නම්, බිම සක්මන් කරද්දී මලුවෙහි සක්මන් කරත්නම්, වැඩිමහලු භික්ෂූන් ළඟ වැද සිටිත් නම් හිඳිත් නම්, නවක භික්ෂූන් අසුන්වලින් වලක්වත් නම්, ගිනිහල්ගෙහිද වැඩිමහලු භික්ෂූන් නොවිමසා දර බහාලත් නම්, දොර වසත් නම්, පැන් තොටෙහිද වැඩිමහලු භික්ෂූන් හා ගැටෙමින් බසිත් නම්, පෙරටුව බසිත් නම්, ගැටෙමින් නහත් නම්, පෙරටුව නහත් නම්, ගැටෙමින් ගොඩ නගිත් නම්, පෙරටුව ගොඩ නගිත් නම්, ගමට පිවිසෙමින්ද, වැඩිමහලු භික්ෂූන් හා ගැටෙමින් යෙත් නම්, පෙරටුව යෙත් නම්, මහලු භික්ෂූන් පසුකොට පෙරටුපෙරටුව යෙත් නම්, ගෙවල කුල ස්ත්රීන් කුල කුමරියන් හිදින මුවහවුණු ඇසුරුණු යහන් ගබඩාවලට සන් නොකොට පිවිසෙත් නම්, ළදරුවන් හිස පිරිමදිත් නම්, මේ කායික අනාචාරයයි කියනු ලැබේ.