සීලප්පභෙදකථා
ඉක්බිති, මේ ශීලය කී ආකාරවේදැයි යමක් කියන ලද්දේ ද, එහි විසඳුම මෙසේය: පළමුකොට මේ සියලු ආකාර ඇති ශීලය තෙමේ එකලස් කිරීමේ ලක්ෂණයෙන් එක්ම ආකාර වේ.
චාරිත්ර වාරිත්ර වශයෙන් දෙඅකාර වේ. එසේම ආභිසමාචාරික, ආදිබ්රහ්මචරියක වශයෙන්ද, විරති, අවිරති වශයෙන්ද, නිස්සිත අනිස්සිත වශයෙන්ද, කාලපරියන්ත, ආපාණකෝටික වශයෙන්ද, සපරියන්ත, අපරියන්ත වශයෙන්ද, ලෞකික ලෝකෝත්තර වශයෙන්ද (එකක් පාසා) දෙආකාර වේ.
හීන, මධ්යම, ප්රණීත වශයෙන් තුන් ආකාර වේ. එසේම අත්තාධිපතෙය්ය, ලෝකාධිපතෙය්ය, ධම්මාධිපතෙය්ය වශයෙන්ද, පරාමට්ඨ, අපරාමට්ඨ, පටිපස්සද්ධි වශයෙන්ද, විසුද්ධ, අවිසුද්ධ, වේමතික වශයෙන්ද, සේඛ, අසේඛ, නෙවසේඛාසේඛ වශයෙන්ද, තුන්ආකාර වේ.
හානභාගීය, ඨිතිභාගීය, විසෙසභාගීය, නිබ්බේධභාගීය වශයෙන් සිව්ආකාර වේ. එසේම භික්ඛු, භික්ඛුණී, අනුපසම්පන්න, ගහට්ඨ වශයෙන්ද, පකති, ආචාර, ධම්මතා, පුබ්බහේතුක වශයෙන්ද, පටිමොක්ඛසංවර ඉන්ද්රියසංවර, ආජීවපාරිසුද්ධි, පච්චයසන්නිස්සික වශයෙන්ද, සිවු ආකාර වේ.
පරියන්ත පාරිසුද්ධි සීල ආදි වශයෙන් පස් ආකාර වේ. කියන ලද මැයි පටිසම්භිදාවෙහි: ‘පරියන්ත පාරිසුද්ධි සීලය, අපරියන්ත පාරිශුද්ධි ශීලය පරිපුණ්ණ පාරිසුද්ධි සීලය, අපරාමට්ඨ පාරිසුද්ධි සීලය, පටිප්පස්සද්ධි පාරිසුද්ධසීලයයි ශීලය පස්ආකාර වේ. එසේම පහාණ, වේරමණි චේතනා, සංවර, අවීතික්කම වශයෙන්ද පස්ආකාර වේ.
එහි එක්වැදෑරුම් කොටසෙහි අර්ත්ථය යට කී පරිදිම දතයුතුය. දෙවැදෑරුම් කොටසෙහි: භාග්යවතුන් වහන්සේ විසින් මේ මේ දෑ කළ යුතුය’යි පනවනලද සිකපද පිරීම චාරිත්රයි; ‘මේ මේ දෑ නොකළ යුතුය’යි පිළිකෙව් කරන ලද්දක් නොකිරීම වාරිත්රයි. එහි වචනාර්ත්ථය මෙසේයි: ඒ ශීලයෙහි හැසිරෙති’යි, එය පුරන්නකු වශයෙන් පවති’යි චාරිත්ර නමි. වලක්වනලද දෙයින් වැලකෙති’යි, එයින් රැකෙති’යි වාරිත්ර නමි. එහි චාරිත්රය ශ්රද්ධා, වීර්ය යන දෙකින් සිද්ධ වේ, වාරිත්රය ශ්රද්ධා සති යන දෙකින් සිද්ධ වේ. මෙසේ චාරිත්ර වාරිත්ර වශයෙන් දෙආකාර වේ.
දෙවන ද්විකයෙහි, අභිසමාචාර නම් උතුම් සමාචාරයයි, අභිසමාචාරයම (තදර්ත්ථ වශයෙන්) ආභිසමාචාරික නම් වේ. අභිසමාචාරය උදෙසා පනවන ලදහ’යි හෝ ආභිසමාචාරික නම් වේ. ආජීවට්ඨමක ශීලය හැර සෙසු ශීලයනට මේ අධිවචනයි. මාර්ගබ්රහ්මචර්යාවට මුල් වූහ’යි ආදිබ්රහ්මචර්යක නමි. මෙය ආජීවට්ඨමක ශීලයට අධිවචනයි. එය වනාහි ආරම්භයෙහිදීම පිරිසුදු කළයුතු හෙයින් (විශුද්ධි) මාර්ගයට මුල් වූයේය. එහෙයින් කීහ: ඔහුගේ වනාහි කායකර්ම, වාක්කර්ම, ආජීව යන මේවා මුලදීම සුපිරිසුදු වූයේ වේ. නොහොත් යම් ශික්ෂාපදයක් ඛුද්දානුඛුද්දකයයි කියන ලද නම් මෙය ආභිසමාචාරික ශීලයයි. සෙසු ශික්ෂාපද ආදිබ්රහ්මචර්යක ශීලයයි. නැතහොත්, උභතොවිභඞ්ගයට අන්තර්ගත වූයේ ආදිබ්රහ්මචර්යකයි, ඛන්ධකවත්හි අන්තර්ගතවූයේ ආභිසමාචාරිකයි. එම ආභිසමාචාරිකය සමෘද්ධවීමෙන් ආදිබ්රහ්මචර්යකය සමෘද්ධ වේ. එහෙයින්ම කීහ: මහණෙනි, ඒ භික්ෂුතෙමේ වනාහි ආභිසමාචාරික ධර්මය පරිපූරණය නොකොට ආදිබ්රහ්මචර්යක ධර්මය පරිපූරණය කරන්නේය යනු කිසිවිටෙකත් සිදුනොවේ. මෙසේ ආභිසමාචාරික ආදිබ්රහ්මචර්යක වශයෙන් දෙආකාර වේ.
තෙවන ද්විකයෙහි හුදෙක් ප්රාණඝාතාදියෙන් වැලකීමම විරති ශීලයයි; සෙසු චේතනාදිය අවිරති ශීලයයි. මෙසේ විරති, අවිරති වශයෙන් දෙආකාර වේ.
සිවුවන ද්විකයෙහි: නිස්සය යනු තණ්හානිස්සය, දිට්ඨිනිස්සයයි දෙකෙකි. එහි යම් ශීලයක්, ‘මම් මේ ශීලය හේතුකොටගෙන දෙවියෙක් හෝ වන්නෙමි, නැතහොත් දෙවියන් හා සමාන අන් කෙනෙක් හෝ වන්නෙමි’යි මෙසේ භව සම්පත් අපේක්ෂා කරමින් පවත්වන ලද්දේ නම් මේ තණ්හානිස්සිතයි. ශීලය හේතුකොටගෙන ශුද්ධිය වන්නේයයි මෙසේ ශුද්ධිදෘෂ්ටියෙන් යම් ශීලයක් පවත්වන ලද්දේ නම් මේ දිට්ඨිනිස්සිතයි. යම් ලෝකෝත්තර ශීලයක් වේනම් එයද, එම ලෝකෝත්තර ශීලය කරා මෙහෙයවන යම් ලෞකික ශීලයක් වේනම් එයද අනිස්සිතයි. මෙසේ නිස්සිත, අනිස්සිත වශයෙන් දෙආකාර වේ.
පස්වන ද්විකයෙහි කාල සීමාවක් කොට සමාදන් වූ ශීලය කාලපර්යන්තයි. දිවිහිමිකොට සමාදන්ව එසේම පවත්වනලද ශීලය ආපාණකෝටිකයි. මෙසේ කාලපරියන්ත ආපාණකෝටික වශයෙන් දෙආකාර වේ.
සවන ද්විකයෙහි: ලාභ, යසස්, ඤාති, අංග, ජීවිත ආදී වශයෙන් දක්නාලද සීමා ඇති ශීලය සපරියන්ත නමි. එබඳු සීමා නැති ශීලය අපරියන්ත නමි. කියනලදමැයි පටිසම්භිදායෙහි: ‘සපරියන්ත ශීලය නම් කිමෙක්ද? ලාභය සීමාකොටගත් ශීලයක් ඇත, යසස සීමා කොටගත් ශීලයක් ඇත. ඥාතීන් සීමාකොටගත් ශීලයක් ඇත, ශරීරාවයව සීමාකොටගත් ශීලයක් ඇත, ජීවිතය සීමා කොටගත් ශීලයක් ඇත. ලාභය සීමාකොටගත් ශීලය කිමෙක්ද? මේ ශාසනයෙහි කිසිවෙක් ලාභය හේතුකොට ලාභය නිමිති කොට, ලාභය පිණිස යම්සේ සමාදන් වූ ශික්ෂාපදය ඉක්මවත් නම් එම ශීලය ලාභ පර්යන්ත වේ’ මේ ක්රමයෙන්ම සෙසු කරුණුද විස්තර කළ යුතුය. අපරියන්ත ශීලය විසදීමේදීද කියනලදමැයි: ‘ලාභ පර්යන්ත නොවන ශීලය කිමෙක්ද? මේ ශාසනයෙහි කිසිවෙක් ලාභය හේතුකොට, ලාභය නිමිතිකොට, ලාභය පිණිස තමන් සමාදන් වූ ශික්ෂාපදය කඩ කිරීමට සිතිවිලිමාත්රයක් හෝ නොඋපදවත් නම්, ඔහු කිමෙකැයි එය කඩ කෙරෙත් ද? මෙවන් ඒ ශීලය ලාභපරියන්ත නොවේ’ මෙම ක්රමයෙන් සෙස්සද විස්තර කළ යුතුය. මෙසේ පරියන්ත, අපරියන්ත වශයෙන් දෙආකාර වේ.