සීලානිසංසකථා
ශීලයෙහි අනුසස් කවරේද යත්: විපිළිසර (පසුතැවිලි) නොවීම ආදී නොයෙක් ගුණයන්ගේ ප්‍රතිලාභය එහි ආනිසංස වේ. කියන ලදමැයි: ‘ආනන්‍ද, කුශලයෝ වනාහි අවිපිළිසර ප්‍රයෝජනකොට ඇත්තාහුය, ශීලයෝ අවිපිළිසර අනුසස්කොට ඇත්තාහුයි.’
අනෙකක්ද කියනලදි: ‘ගෘහපතියනි, සිල්වතකුගේ සිල්සම්පතෙහි අනුසස් පසෙකි, ඒ කවරේද? ගෘහපතියනි, මේ ලෝකයෙහි ශීලසම්පන්න වූ සිල්වත් පුද්ගලයා තමාගේ අප්‍රමාදබව හේතුකොට මහත් භෝගසම්භාරයක් ලබයිද, මෙය සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි පළමුවන අනුසසයි. තවද ගෘහපතියනි, ශීලසම්පන්න වූ සිල්වත්හුගේ කල්‍යාණ වූ කීර්තිරාවයෙක් පැනනඟියි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි දෙවන අනුසසයි. තවද ගෘහපතියනි, ශීලසම්පන්න වූ සිල්වත් තෙමේ යම් යම් පිරිසක් වෙත එළඹේද, ක්‍ෂත්‍රිය පිරිසක් වේවයි, බ්‍රාහ්මණ පිරිසක් වේවයි, ගෘහපති පිරිසක් වේවයි, ශ්‍රමණ පිරිසක් වේවයි, නොපැකිල විශාරද ලීලාවෙන් එළඹෙයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි තෙවන අනුසසයි. තවද ගෘහපතියෙනි, ශීලසම්පන්න වූ සිල්වත් තෙමේ නුමුළාව කලුරිය කරයි, මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි සිවුවන අනුසසයි. තවද ගෘහපතියෙනි, ශීලසම්පන්න වූ සිල්වත්තෙමේ දිවි තොරවීමෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි පස්වන අනුසසයි.’
තවද, ‘මහණෙනි, ඉදින් භික්‍ෂු තෙමේ සබ්‍රම්සරුන් අතර ප්‍රියවන්නෙමි, මනාප වන්නෙමි, ගරු සම්මානයට සුදුස්සෙක් වන්නෙමි’යි අපේක්‍ෂා කරන්නේ නම්, ශීලය පරිපූරණය කරන්නෙක්ම වන්නේය.’ යන මේ ආදි නයින් ප්‍රිය මනාපතාදී වූ නිර්වාණය කෙළවරකොට ඇති නොයෙක් ශීලානිශංසයෝ කියනලද්දාහුය. මෙසේ ශීලය අවිපිළිසර ආදී නොයෙක් ගුණයන් ආනිසංසකොට ඇත්තේය. යළිදු:
සාසනෙ කුලපුත්තානං පතිට්ඨා නත්‍ථි යං විනා
ආනිසංසපරිච්ඡෙදං තස්ස සීලස්ස කො වදෙ
න ගඞ්ගා යමුනා චාපි සරභූ වා සරස්සතී,
නින්නගා වා’චි රවතී මහී චාපි මහා නදී
සක්කුණන්ති විසොධෙතුං තං මලං ඉධ පාණිනං
විසොධයති සත්තානං යං වෙ සීලජලං මලං
න තං සජලදා වාතා න චාපි හරිචන්‍දනං
නෙව හාරා න මණයො න චන්‍දකිරණඞ්කුරා
සමයන්තීධ සත්තානං පරිළාහං සුරක්‍ඛිතං
යං සමෙති ඉදමරියං සීලං අච්චන්තසීතලං
සීලගන්‍ධසමො ගන්‍ධො කුතො නාම භවිස්සති
සො සමං අනුවාතෙ ච පටිවාතෙ ච වායති
සග්ගාරොහණසොපානං අඤ්ඤං සීලසමං කුතො,
ද්වාරං වා පන නිබ්බාණනගරස්ස පවෙසනෙ
සොභන්තෙවං න රාජානො මුත්තාමණි විභූසිතා
යථා සොභන්ති යතිනො සීලභූසනභූසිතා,
අත්තානුවාදාදිභයං විද්ධංසයති සබ්බසො,
ජනෙති කිත්තිං හාසඤ්ච සීලං සීලවතං සදා
ගුණානං මූලභූතස්ස දෙසානං බලඝාතිනො
ඉති සීලස්ස විඤ්ඤෙය්‍යං ආනිසංසකථාමුඛං.’
ශාසනයෙහි කුලපුත්‍රයන්හට යම් ශීලයක් හැර අන් පිහිටෙක් නැද්ද එම ශීලයෙහි ආනිසංසයන් පිරිසිඳ පැවසීමට කවරෙක් සමත්වේද?
ගංගා, යමුනා, සරභූ, සරස්වතී, අචිරවතී, මහී යන ගලායන මහාගංගාවෝ
මෙලොව සත්ත්‍වයන් අපිරිසුදු කරන කෙලෙස්මල සෝදා හැරීමට නොසමත් වෙති. එහෙත් ශීල නමැති ජලය ඒකාන්තයෙන් සත්ත්‍වයන්ගේ කෙලෙස්මල සෝදා පිරිසුදු කරයි.
සීකර සහිත සුලඟය, රන්වන් සඳුන්ය, මුතුහරය, මැණික් වෙසෙස්ය, සඳකිරණය යන මෙතෙක් දෑ අතුරෙන් කිසිවක්,
ලෝකසත්‍වයාගේ ක්ලෙශපරිදාහය ශමනය කරනු නොසමත් වේ, එහෙත් මනාව රක්නාලද අත්‍යන්තශීතල වූ මේ උතුම් වූ ශීලය එම පරිදාහය ශමනය කරයි,
සිල්සුවඳ හා සමාන සුවඳෙක් කොතැනින් හෝ වන්නේද? එම සිල්සුවඳ යටිසුළඟට මෙන්ම උඩුසුළඟටද, එකසේ හමයි.
දෙව්ලොවට නැඟීමට ශීලය හා සම කළ හැකි අන් හිණෙක් කොයින්ද? මොක්පුරට පිවිසීමට එම ශීලය හා සම කළ හැකි අන් දොරෙක් කොයින්ද?
සිල් නමැති අබරණින් සැදුණ යතිවරයෝ යම්සේ හොබිත්ද, මුතුමිණියෙන් සැරසුණ රජදරුවෝද, එසේ නොහොබිත්.
අත්තානුවාද, (තමා තුළින්ම එන අපවාද) ආදී භය සර්වප්‍රකාරයෙන් නැති කරයි, සිල්වතුන්හට එම ශීලය සැම කල්හිම කීර්තියද සන්තුෂ්ටියද දනවයි.
ගුණයනට මුල්වන, දෝෂයන්ගේ බලය නසාලන, ශීලයෙහි අනුසස් පිළිබඳ විස්තරය මෙසේ දතයුතුය.
සීලප්පභෙදකථා
ඉක්බිති, මේ ශීලය කී ආකාරවේදැයි යමක් කියන ලද්දේ ද, එහි විසඳුම මෙසේය: පළමුකොට මේ සියලු ආකාර ඇති ශීලය තෙමේ එකලස් කිරීමේ ලක්‍ෂණයෙන් එක්ම ආකාර වේ.
චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් දෙඅකාර වේ. එසේම ආභිසමාචාරික, ආදිබ්‍රහ්මචරියක වශයෙන්ද, විරති, අවිරති වශයෙන්ද, නිස්සිත අනිස්සිත වශයෙන්ද, කාලපරියන්ත, ආපාණකෝටික වශයෙන්ද, සපරියන්ත, අපරියන්ත වශයෙන්ද, ලෞකික ලෝකෝත්තර වශයෙන්ද (එකක් පාසා) දෙආකාර වේ.
හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් තුන් ආකාර වේ. එසේම අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය වශයෙන්ද, පරාමට්ඨ, අපරාමට්ඨ, පටිපස්සද්ධි වශයෙන්ද, විසුද්ධ, අවිසුද්ධ, වේමතික වශයෙන්ද, සේඛ, අසේඛ, නෙවසේඛාසේඛ වශයෙන්ද, තුන්ආකාර වේ.
හානභාගීය, ඨිතිභාගීය, විසෙසභාගීය, නිබ්බේධභාගීය වශයෙන් සිව්ආකාර වේ. එසේම භික්ඛු, භික්ඛුණී, අනුපසම්පන්න, ගහට්ඨ වශයෙන්ද, පකති, ආචාර, ධම්මතා, පුබ්බහේතුක වශයෙන්ද, පටිමොක්ඛසංවර ඉන්‍ද්‍රියසංවර, ආජීවපාරිසුද්ධි, පච්චයසන්නිස්සික වශයෙන්ද, සිවු ආකාර වේ.
පරියන්ත පාරිසුද්ධි සීල ආදි වශයෙන් පස් ආකාර වේ. කියන ලද මැයි පටිසම්භිදාවෙහි: ‘පරියන්ත පාරිසුද්ධි සීලය, අපරියන්ත පාරිශුද්ධි ශීලය පරිපුණ්ණ පාරිසුද්ධි සීලය, අපරාමට්ඨ පාරිසුද්ධි සීලය, පටිප්පස්සද්ධි පාරිසුද්ධසීලයයි ශීලය පස්ආකාර වේ. එසේම පහාණ, වේරමණි චේතනා, සංවර, අවීතික්කම වශයෙන්ද පස්ආකාර වේ.
එහි එක්වැදෑරුම් කොටසෙහි අර්ත්‍ථය යට කී පරිදිම දතයුතුය. දෙවැදෑරුම් කොටසෙහි: භාග්‍යවතුන් වහන්සේ විසින් මේ මේ දෑ කළ යුතුය’යි පනවනලද සිකපද පිරීම චාරිත්‍රයි; ‘මේ මේ දෑ නොකළ යුතුය’යි පිළිකෙව් කරන ලද්දක් නොකිරීම වාරිත්‍රයි. එහි වචනාර්ත්‍ථය මෙසේයි: ඒ ශීලයෙහි හැසිරෙති’යි, එය පුරන්නකු වශයෙන් පවති’යි චාරිත්‍ර නමි. වලක්වනලද දෙයින් වැලකෙති’යි, එයින් රැකෙති’යි වාරිත්‍ර නමි. එහි චාරිත්‍රය ශ්‍රද්ධා, වීර්ය යන දෙකින් සිද්ධ වේ, වාරිත්‍රය ශ්‍රද්ධා සති යන දෙකින් සිද්ධ වේ. මෙසේ චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් දෙආකාර වේ.