9. 2. 4. 10.
විනිබන්‍ධ ඉද්ධිපාද සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චෙතසො විනිබන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීතරාග වූයේ වෙයි … මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයහ.
මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතුවහ. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධිපධාන සඞ්ඛාර සමන්නාගත වූ ඍද්ධිපාදය වඩනේ ය. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධාන සඞ්ඛාර සමන්නාගත වූ ඍද්ධිපාදය වඩනේ ය. මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතු වෙත් යයි.
සතරවන ඍද්ධිපාද වර්‍ගය යි.
දුතිය පණ්ණාසකය සමාප්ත යි.
එහි උද්දානය:
සතර සතිපට්ඨානයෝ ය. සතර සම්‍යක්ප්‍රධානයහ, සතර ඍද්ධිපාදයෝ ය යන මොහු පළමුපදයන් හා යෙදිය යුතුවහ.
5. රාගාදිපෙය්‍යාලය
9. 2. 5. 1.
නවසඤ්ඤා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස නව ධර්‍ම කෙනෙක් වැඩියයුතු වෙත්. කවර නව කෙනෙක යත්: අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්‍යයෙහි දුක්ඛසඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නව ධර්‍මයෝ වැඩියයුතු වෙත්.
9. 2. 5. 2.
ඣානසමාපත්ති සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිඥාය පිණිස නව ධර්‍ම කෙනෙක් වැඩිය යුතු වෙත්. කවර නව කෙනෙක යත්: පඨමජ්ඣාන ය, දුතියජ්ඣාන ය, තතියජ්ඣාන ය, චතුත්‍ථජ්ඣාන ය, ආකාසානඤ්චායතන ය, විඤ්ඤාණඤ්චායතන ය, ආකිඤ්චඤ්ඤායතන ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ය, සඤ්ඤාවේදයිත නිරෝධ යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නවදහම්හු වැඩිය යුතු වෙත් යි.
9. 2. 5. 3-18.
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ පරිඥානය පිණිස … පරික්‍ෂය පිණිස … ප්‍රහාණය පිණිස … ක්‍ෂයය පිණිස … ව්‍යයය පිණිස … විරාගය පිණිස … නිරෝධය පිණිස … ත්‍යාගය පිණිස … පටිනිස්සග්ගය පිණිස මේ නව දහම්හු වැඩියයුතු වෙත්.