9. 2. 2. 9.
චේතෝඛිල සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චේතෝඛිලයෝ (චිත්තයාගේ ස්තබ්ධභාවයෝ) පස්දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි. අධිමෝක්‍ෂ (ඇලීම) නො කරයි, නො පහදියි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරන්නේ ද, විචිකිච්ඡා කරන්නේ ද, අධිමෝක්‍ෂ නොකරන්නේ ද, නො පහදනේ ද, ඔහු සිත ආතාපය (වීර්‍ය්‍යය) පිණිස අනුයෝගය (යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පළමු චේතෝඛිල යි.
තවද මහණෙනි, මහණ ධර්‍මයෙහි ශඞ්කා කෙරෙයි … සඞ්ඝයා කෙරෙහි ශඞ්කා කෙරෙයි … ශික්‍ෂාව කෙරෙහි ශඞ්කා කෙරෙයි … සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිල ජාත වෙයි. (කණුවක් මෙන් තදගති ඇතියේ වෙයි.) මහණෙනි, යම් ම මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිලජාත වේ නම් ඔහු සිත ආතාපය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) පිණිස අනුයෝග (පුනපුනා යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පස්වන චේතෝඛිල යි. මහණෙනි, මේ පඤ්ච චේතෝඛිල යි.
මහණෙනි, මේ පඤ්ච චේතෝඛිලයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.
9. 2. 2. 10.
විනිබන්‍ධ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චෙතසො විනිබන්‍ධයෝ (සිත තරකොට ගැනුම්) පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීත (පහ නොකළ) රාග වූයේ අවිගත (පහ නො වූ) ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිදාහ ඇතියේ අවිගතතෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් කාමයන්හි අවීතරාග වූයේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිදාහ ඇතියේ අවිගතතෘෂ්ණා ඇතියේ වේ නම් ඔහු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් ප්‍රථම චෙතසො විනිබන්‍ධ යි.
තවද මහණෙනි, මහණ කයෙහි අවීතරාග වූයේ වෙයි … රූපයෙහි අවීතරාග වූයේ වෙයි … කැමැති තාක් කුස්පුරා කා ශය්‍යාසුඛය පාර්ශ්වසුඛය මිද්ධසුඛය යන මෙහි යෙදුනේ වෙසෙයි … අන්‍යතර දේවනිකායයක් පතා බඹසර සෙරෙයි. මම් මේ ශීලයෙන් වේවයි, ව්‍රතයෙන් වේවයි, තවුස්දමින් වේවයි, බඹසරින් වේවයි දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්වයි.
මහණෙනි, යම් මහණෙක් මම මේ සීලයෙන් වේවයි වතින් වේවයි තවුස්දමින් වේවයි බඹසරින් වේවයි ප්‍රමුඛ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්වයි එක්තරා දේවනිකායක් පතා බඹසර හැසිරේ නම් ඔහු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍ය පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මේ පස්වන චෙතසො විනිබන්‍ධ යි. මහණෙනි, මේ චෙතසොවිනිබන්‍ධයෝ පස්දෙන යි.
මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
දෙවන සතිපට්ඨාන වර්‍ග යි.
එහි උද්දානය:
සික්ඛා සූත්‍රය, නීවරණ සූත්‍රය, කාම සූත්‍රය, ඛන්‍ධ සූත්‍රය, ඕරම්භාගිය සූත්‍රය, ගති සූත්‍රය, මච්ඡෙර සූත්‍රය, උද්ධම්භාගිය සූත්‍රය, චේතෝඛිල විනිබන්‍ධ සූත්‍ර දෙක දැයි දසයෙකි.