9. 2. 2. 10.
විනිබන්‍ධ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චෙතසො විනිබන්‍ධයෝ (සිත තරකොට ගැනුම්) පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීත (පහ නොකළ) රාග වූයේ අවිගත (පහ නො වූ) ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිදාහ ඇතියේ අවිගතතෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් කාමයන්හි අවීතරාග වූයේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිදාහ ඇතියේ අවිගතතෘෂ්ණා ඇතියේ වේ නම් ඔහු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් ප්‍රථම චෙතසො විනිබන්‍ධ යි.
තවද මහණෙනි, මහණ කයෙහි අවීතරාග වූයේ වෙයි … රූපයෙහි අවීතරාග වූයේ වෙයි … කැමැති තාක් කුස්පුරා කා ශය්‍යාසුඛය පාර්ශ්වසුඛය මිද්ධසුඛය යන මෙහි යෙදුනේ වෙසෙයි … අන්‍යතර දේවනිකායයක් පතා බඹසර සෙරෙයි. මම් මේ ශීලයෙන් වේවයි, ව්‍රතයෙන් වේවයි, තවුස්දමින් වේවයි, බඹසරින් වේවයි දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්වයි.
මහණෙනි, යම් මහණෙක් මම මේ සීලයෙන් වේවයි වතින් වේවයි තවුස්දමින් වේවයි බඹසරින් වේවයි ප්‍රමුඛ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්වයි එක්තරා දේවනිකායක් පතා බඹසර හැසිරේ නම් ඔහු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍ය පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මේ පස්වන චෙතසො විනිබන්‍ධ යි. මහණෙනි, මේ චෙතසොවිනිබන්‍ධයෝ පස්දෙන යි.
මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
දෙවන සතිපට්ඨාන වර්‍ග යි.
එහි උද්දානය:
සික්ඛා සූත්‍රය, නීවරණ සූත්‍රය, කාම සූත්‍රය, ඛන්‍ධ සූත්‍රය, ඕරම්භාගිය සූත්‍රය, ගති සූත්‍රය, මච්ඡෙර සූත්‍රය, උද්ධම්භාගිය සූත්‍රය, චේතෝඛිල විනිබන්‍ධ සූත්‍ර දෙක දැයි දසයෙකි.
3. සම්මප්පධාන වර්‍ගය
9. 2. 3. 1.
සික්ඛාදුබ්බල්‍යසම්මප්පධාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සික්ඛා දුබ්බල්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
පාණාතිපාත ය … සුරාමේරයමජ්ජපමාදට්ඨාන ය, මහණෙනි, මේ පඤ්ච සික්ඛාදුබ්බල්‍ය යි.
මහණෙනි, මේ පඤ්ච ශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස, සතර සම්මප්පධාන වැඩිය යුතු යි. කවර සතරෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ නො උපන් ලමු අකුසල දහමුන්ගේ නො ඉපදීම පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. උපන් ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තරකොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කරයි. නූපන් කුසල් දහමුන්ගේ උපත පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තරකොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කරයි. උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස භිය්‍යොභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්ත්තිය පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. මහණෙනි මේ පඤ්චශික්‍ෂා දෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සම්‍යක්ප්‍රධාන වැඩිය යුතු යි.
9. 2. 3. 2-9.
[සැවැත්නිදාන යි]
(ද්විතීය සූත්‍රයෙහි පටන් නවම සූත්‍රය තෙක් සතිපට්ඨානවර්‍ගයෙහි යම් පරිදි වේ නම් ඒ පරිදි සම්මප්පධාන විසින් විස්තර කටයුතු)