9. 2. 2. 1.
සික්ඛාදුබ්බල්ය සතිපට්ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ශික්ෂා දෞර්බල්යයෝ පස්දෙනෙක. කවර පසෙක යත්: පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසවා ය, මදපමාදෙකට කරුණු වූ රහමෙරය දැයි. මහණෙනි, මේ පඤ්චශික්ෂාදෞර්බල්යයෝ යි. මහණෙනි, මේ පඤ්චශික්ෂාදෞර්බල්යයන්ගේ ප්රහාණය පිණිස සතර සීවටන් වැඩිය යුතු. කවර සතරෙක යත්:
මහණෙනි, මේ සස්නෙහි මහණ කයෙහි කායානුදර්ශී වූයේ කෙලෙස් තවන වැර ඇතියේ සම්යක් ප්රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ (පඤ්චස්කන්ධ) ලෝකයෙහි අභිධ්යා දෞර්මනස්ය විෂ්කම්භණ කොට වාස කෙරෙයි. වේදනාවන්හි වේදනානුදර්ශී වූයේ වේදනානුදර්ශී ව වාස කෙරෙයි … චිත්තයෙහි චිත්තානුදර්ශී ව වාස කෙරෙයි … ධර්මයන්හි ධර්මානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇතියේ සම්යක්ප්රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ ලෝකයෙහි අභිධ්යාදෞර්මනස්යයන් විෂ්කම්භණ කොට වාස කෙරෙයි. මහණෙනි, මෙ පඤ්චශික්ෂාදෞර්බල්යයන්ගේ ප්රහාණය පිණිස මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.
9. 2. 2. 2.
නීවරණ සතිපට්ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නීවරණ පසෙකි, කවර පසෙක යත්:
කාමච්ඡන්ද නීවරණය, ව්යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණ යි. මහණෙනි, මේ පඤ්ච නීවරණ යි.
මහණෙනි, මේ පඤ්ච නීවරණයන්ගේ ප්රහාණය පිණිස … මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.
9. 2. 2. 3.
කාමගුණ සතිපට්ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
චක්ෂුර්විඥානග්රාහ්ය වූ ඉෂ්ට කාන්ත මනාප ප්රියරූප කාමෝපසංහිත රජනීය රූපයහ. ශ්රෝතවිඥානග්රාහ්ය … ශබ්දයහ. ඝ්රාණවිඥානග්රාහ්ය … ගන්ධයහ. ජිහ්වාවිඥානග්රාහ්ය … රසයහ. කායවිඥානග්රාහ්ය ඉෂ්ට කාන්ත මනාප ප්රියරූප කාමෝපසංහිත රජනීය ස්ප්රෂ්ටව්යහ යී, මහණෙනි, මේ පඤ්චකාම ගුණයෝය.
මහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ ප්රහාණය පිණිස මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.
9. 2. 2. 4.
උපාදානක්ඛන්ධ සතිපට්ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ උපාදානස්කන්ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
රූපූපාදානක්ඛන්ධ ය, වේදනූපාදානක්ඛන්ධ ය, සඤ්ඤූපාදානක්ඛන්ධ ය, සඞ්ඛාරූපාදානක්ඛන්ධ ය, විඤ්ඤාණූපාදානක්ඛන්ධ යි. මහණෙනි, මොහු පඤ්චූපාදානක්ඛන්ධ යි.
මහණෙනි, මේ පඤ්චූපාදානක්ඛන්ධයන්ගේ ප්රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩියයුතුවහ.
9. 2. 2. 5.
ඕරම්භාගිය සතිපට්ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ඕරම්භාගියසංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
සක්කායදිට්ඨිය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, කාමච්ඡන්ද ය, ව්යාපාදය දැයි, මහණෙනි, මොහු පඤ්චෝරම්භාගියසංයෝජන යි.
මහණෙනි, මේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.