9. 2. 2. 2.
නීවරණ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නීවරණ පසෙකි, කවර පසෙක යත්:
කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණ යි. මහණෙනි, මේ පඤ්ච නීවරණ යි.
මහණෙනි, මේ පඤ්ච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.
9. 2. 2. 3.
කාමගුණ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
චක්‍ෂුර්විඥානග්‍රාහ්‍ය වූ ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය රූපයහ. ශ්‍රෝතවිඥානග්‍රාහ්‍ය … ශබ්දයහ. ඝ්‍රාණවිඥානග්‍රාහ්‍ය … ගන්‍ධයහ. ජිහ්වාවිඥානග්‍රාහ්‍ය … රසයහ. කායවිඥානග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය ස්ප්‍රෂ්ටව්‍යහ යී, මහණෙනි, මේ පඤ්චකාම ගුණයෝය.
මහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.
9. 2. 2. 4.
උපාදානක්ඛන්‍ධ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
රූපූපාදානක්ඛන්‍ධ ය, වේදනූපාදානක්ඛන්‍ධ ය, සඤ්ඤූපාදානක්ඛන්‍ධ ය, සඞ්ඛාරූපාදානක්ඛන්‍ධ ය, විඤ්ඤාණූපාදානක්ඛන්‍ධ යි. මහණෙනි, මොහු පඤ්චූපාදානක්ඛන්‍ධ යි.
මහණෙනි, මේ පඤ්චූපාදානක්ඛන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩියයුතුවහ.
9. 2. 2. 5.
ඕරම්භාගිය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ඕරම්භාගියසංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
සක්කායදිට්ඨිය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, කාමච්ඡන්‍ද ය, ව්‍යාපාදය දැයි, මහණෙනි, මොහු පඤ්චෝරම්භාගියසංයෝජන යි.
මහණෙනි, මේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.