9. 2. 1. 11.
අරහත්ත භබ්බාභබ්බ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නව දහම් කෙනෙක් නො පහ කොට අර්‍හත්ත්‍වය පිළිවිදුනට අභව්‍ය වෙයි. කවර නවයෙක යත්:
රාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් නො පහා අර්‍හත්ත්‍වය පිළිවිදුනට අභව්‍ය වෙයි.
මහණෙනි, නව දහම් කෙනෙකුන් පහ කොට අර්‍හත්ත්‍වය පිළිවිදුනට භව්‍ය වෙයි. කවර නවයෙක යත්:
රාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් පහා රහත් බව පිළිවිදුනට භව්‍ය වෙයි.
ප්‍රථම ඛේම වර්‍ග යි.
එහි උද්දානය:
ඛේම සූත්‍ර දෙකය, අමත සූත්‍ර දෙකය, අභය සූත්‍ර දෙකය, පස්සද්ධි සූත්‍ර දෙකය, නිරෝධ සූත්‍රය, අනුපුබ්බනිරෝධ සූත්‍රය, භබ්බාභබ්බ සූත්‍රය දැයි එකොළොසෙකි.
2. සතිපට්ඨාන වර්‍ගය
9. 2. 2. 1.
සික්ඛාදුබ්බල්‍ය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ශික්‍ෂා දෞර්බල්‍යයෝ පස්දෙනෙක. කවර පසෙක යත්: පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසවා ය, මදපමාදෙකට කරුණු වූ රහමෙරය දැයි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයෝ යි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස සතර සීවටන් වැඩිය යුතු. කවර සතරෙක යත්:
මහණෙනි, මේ සස්නෙහි මහණ කයෙහි කායානුදර්ශී වූයේ කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය විෂ්කම්භණ කොට වාස කෙරෙයි. වේදනාවන්හි වේදනානුදර්ශී වූයේ වේදනානුදර්ශී ව වාස කෙරෙයි … චිත්තයෙහි චිත්තානුදර්ශී ව වාස කෙරෙයි … ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් විෂ්කම්භණ කොට වාස කෙරෙයි. මහණෙනි, මෙ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.
9. 2. 2. 2.
නීවරණ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නීවරණ පසෙකි, කවර පසෙක යත්:
කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණ යි. මහණෙනි, මේ පඤ්ච නීවරණ යි.
මහණෙනි, මේ පඤ්ච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.