9. 1. 3. 3.
තණ්හාමූලක සූත්රය
[සැවැත්නිදාන යි]
‘මහණෙනි, තෘෂ්ණා මූලක ධර්ම නවය දෙසමි. අසවු, මොනවට මෙනෙහි කරවු, කියමි’ යි. ‘එසේය වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, නව තෘෂ්ණාමූලකධර්මයෝ කවරහ යත්: (වස්තු සෙවීමේ) තෘෂ්ණාව නිසා (රූපාදි අරමුණු) පර්ය්යෙෂණය, පර්ය්යෙෂණ නිසා (රූපාදි අරමුණු) ලාභය, ලාභය නිසා විනිශ්චය ය, විනිශ්චය නිසා ඡන්දරාග ය, ඡන්දරාගය නිසා (මම ය මාගේ යයි) බලවත් සනිටුහනය, බලවත් සනිටුහන නිසා (තණ්හා දිට්ඨි වශයෙන්) පරිග්රහකරණ ය, පරිග්රහකරණය නිසා මාත්සර්ය්යය, මාත්සර්ය්යය නිසා ආරක්ෂාය, ආරක්ෂා හේතුවෙන් දණ්ඩාදාන ය ශාස්ත්රාදාන කලහ විග්රහ විවාද ය තෝ තෝ යි බිණුම් පෛශුන්යය මුසාවාදය යන අනේක ලාමක අකුශලධර්මයෝ උපදනාහ. මහණෙනි, මේ නව තෘෂ්ණා මූලක ධර්ම යි.
9. 1. 3. 4.
සත්තාවාස සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සත්ත්වයන් වසන තැන් නවයෙකි. කවර නවයෙක යත්:
1. මහණෙනි නානාත්වකාය නානාත්වසංඥ සත්හු ඇත. මිනිස්හු ඇතැම් දෙවියෝ ඇතැම් විනිපාතිකයෝ යම් බඳු ද, එ මෙනි. මේ ප්රථම සත්වාවාස යි.
2. මහණෙනි, නානාත්වකාය ඒකත්වසංඥ සත්වයෝ ඇත. පළමු පහළ බ්රහ්මකායික දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ ද්විතීය සත්ත්වාවාස යි.
3. මහණෙනි, ඒකත්වකාය නානාත්වසංඥා සත්හු ඇත. ආභාස්වර දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ තෘතීය සත්වාවාස යි.
4. මහණෙනි, ඒකත්වකාය ඒකත්වසංඥ සත්හු ඇත. ශුභකෘත්ස්න දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ චතුර්ත්ථ සත්ත්වාවාස යි.
5. මහණෙනි, ප්රතිසංවේදනා රහිත අසංඥසත්හු ඇත. අසංඥසත්ත්ව දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ පඤ්ච සත්ත්වාවාස යි.
6. මහණෙනි, සර්වප්රකාරයෙන් රූපසංඥාවන් ඉක්ම ප්රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණි සත්හු ඇත. මේ ෂෂ්ඨසත්ත්වාවාස යි.
7. මහණෙනි, සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්රමණය කොට විඥානය අනන්තය යි විඥානන්ත්යායතනයට පැමිණි සත්හු ඇත. මේ සප්තම සත්ත්වාවාස යි.
8. මහණෙනි, සර්වප්රකාරයෙන් විඥානන්ත්යායතනය ඉක්මවා කිසිත් නැතැයි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්හු ඇත. මේ අෂ්ටම සත්ත්වාවාස යි.
9. මහණෙනි, සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්හු ඇත. මේ නවම සත්ත්වාවාස යි.
මහණෙනි, මේ නව සත්ත්වාවාස යි.
9. 1. 3. 5.
පඤ්ඤාපරිචිත සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් කලෙක මහණහුගේ සිත ප්රඥායෙන් මොනොවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද, මහණෙනි, ඒ මහණහට “ජාතිය ක්ෂය විය, බඹසර වැස නිම වි ය, කරණී කරන ලද, අර්හත්ත්වය පිණිස අනෙකෙක් නැතැයි දනිමි” යන තෙල කියන්නට වටනේ ය.
මහණෙනි, කෙසේ මහණහුගේ සිත ප්රඥායෙන් මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද? “මා සිත වීතරාගය”යි ප්රඥායෙන් සිත මොනවට වැඩුණේ වෙයි. “මා සිත වීතද්වේෂය”යි ප්රඥාවෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත වීතමෝහය”යි ප්රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංරාගස්වභාව නැතැ”යි ප්රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංදූෂණ ස්වභාව නැතැ”යි ප්රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි.