9. 1. 1. 8.
සජ්ඣපරිබ්බාජක සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වසන සේක. එකල්හි සජ්ඣ පිරිවැජි භාග්යවතුන් වහන්සේ කරා එළඹියේය. එළැඹ භාග්යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සජ්ඣ පිරිවැජි භාග්යවතුන් වහන්සේට තෙල සැල කළේය:
වහන්ස, එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මේ ගිරිව්රජ නම් වූ රජගහනුවර ම වාසය කරන සේක. වහන්ස, එකල්හි මා විසින් “සජ්ඣයෙනි, අර්හත් ක්ෂීණාශ්රව වූ වැසනිම වූ මඟ බඹසර ඇති, කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල සඞ්ඛ්යාත ස්වාර්ත්ථය ඇති, ගෙවූ භව සංයෝජන ඇති, මනාකොට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම් හේ කරුණු පසක් මඩනට අභව්ය වේ” යි. භාග්යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී. හමුවෙහි පිළිගන්නා ලදී:
රහත් මහණ දැන දැන පරපණ දිවියෙන් ගැලවුමට අභව්ය වෙයි. රහත් මහණ ථෙය්යසඞ්ඛ්යාතය ගන්නට අභව්ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්ය වෙයි. රහත් මහණ මුසවා කීමට අභව්ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරක ව කාමයන් වළඳනට අභව්ය වේ ය” යි. වහන්ස, කිම, තෙල මා විසින් මැනවින් අසන ලද ද? මනාකොට උගන්නා ලද ද? මොනොවට මෙනෙහි කරන ලද ද? මොනොවට දරන ලදදැ’ යි.
සජ්ඣයෙනි, එකතින් තා විසින් එය මොනොවට අසන ලද, මොනොවට උගන්නා ලද, මොනොවට මෙනෙහි කරන ලද, මොනොවට දරන ලද වෙයි. සජ්ඣයෙනි, පෙර ද දැනුදු මම මෙසේ කියමි. “අර්හත් වූ ක්ෂීණාස්රව, වැස නිමවූ මඟ බඹසර ඇති, කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පිළිවෙළින් පත් අර්හත්වය ඇති, පරික්ෂීණ භව සංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, හේ නව කරුණක් මඩනට අභව්ය වේ: රහත් මහණ දැන දැන සතක්හු දිවියෙන් ගැළවීමට අභව්ය වෙයි. රහත් මහණ ථෙය්ය සඞ්ඛ්යාතය ගන්නට අභව්ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්ය වෙයි. රහත් මහණ දැන දැන මුසවා බණනට අභව්ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරකව කාමයන් වළඳනට අභව්ය වේ යයි. රහත් මහණ ඡන්දයෙන් අගතියට යනුවට අභව්ය වෙයි. රහත් මහණ ද්වේෂයෙන් අගතියට යනුවට අභව්ය වෙයි. රහත් මහණ මෝහයෙන් අගතියට යනුවට අභව්ය වෙයි. රහත් මහණ භයෙන් අගතියට යනුවට අභව්ය වෙයි.” සජ්ඣයෙනි, පෙරත් දැනුත් මම මෙසේ කියමි: රහත් වූ ක්ෂීණාස්රව වූ වැස නිමවූ බඹසර ඇති, කළ සිවුමඟ කිස ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පිළිවෙළින් පත් රහත්බව ඇති, ගෙවූ භවසංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, හේ මේ නව කාරණයන් මඩනට අභව්ය වේ ය” යි.
9. 1. 1. 9.
පුග්ගල සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ලොව්හි මේ පුද්ගලයෝ නවදෙනෙක් ඇතියහ. විද්යමාන වෙත්: කවර නවදෙනෙක යත්: අර්හත් ය, අර්හත්වයට පිළිපන්නේ ය. අනාගාමී ය. අනාගාමීඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමීඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. සෝතාපන්න යැ. සෝතාපත්තිඵල පසක් කිරීමට පිළිපන්නේ යැ. පෘථග්ජන යි. මහණෙනි, ලොව්හි මේ පුද්ගලයෝ නවදෙන ඇතියහ. විද්යමාන වෙත්.
9. 1. 1. 10.
ආහුනෙය්යපුග්ගල සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ආහුනාර්හ, ප්රාඝුණාර්හ, දක්ෂිණාර්හ, අඤ්ජලිකරණීය, ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර වූ මේ පුද්ගලයෝ නව දෙනෙකි, කවර නව දෙනෙක යත්: අර්හත් ය, අර්හත්වයට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමීඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමීඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. සෝතාපන්න යැ. සෝතාපත්තිඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. ගෝත්රභූ ය. මහණෙනි, මේ පුද්ගලයෝ නව දෙන අහුනෙය්ය ... ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්ර වෙති.
ප්රථම සම්බෝධිවර්ග යි.
එහි උද්දානය:
සම්බෝධි සූත්රය, නිස්සය සූත්රය, මේඝිය සූත්රය, නන්දක සූත්රය, බල සූත්රය, සේවිතබ්බාසේවිතබ්බ සූත්රය, සුතවා සූත්රය, සජ්ඣ සූත්රය, පුග්ගල සූත්රය, ආහුනෙය්ය සූත්රය යි දශයෙක.