9. 1. 1. 9.
පුග්ගල සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ලොව්හි මේ පුද්ගලයෝ නවදෙනෙක් ඇතියහ. විද්යමාන වෙත්: කවර නවදෙනෙක යත්: අර්හත් ය, අර්හත්වයට පිළිපන්නේ ය. අනාගාමී ය. අනාගාමීඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමීඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. සෝතාපන්න යැ. සෝතාපත්තිඵල පසක් කිරීමට පිළිපන්නේ යැ. පෘථග්ජන යි. මහණෙනි, ලොව්හි මේ පුද්ගලයෝ නවදෙන ඇතියහ. විද්යමාන වෙත්.
9. 1. 1. 10.
ආහුනෙය්යපුග්ගල සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ආහුනාර්හ, ප්රාඝුණාර්හ, දක්ෂිණාර්හ, අඤ්ජලිකරණීය, ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර වූ මේ පුද්ගලයෝ නව දෙනෙකි, කවර නව දෙනෙක යත්: අර්හත් ය, අර්හත්වයට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමීඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමීඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. සෝතාපන්න යැ. සෝතාපත්තිඵල සාක්ෂාත්කරණයට පිළිපන්නේ ය. ගෝත්රභූ ය. මහණෙනි, මේ පුද්ගලයෝ නව දෙන අහුනෙය්ය ... ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්ර වෙති.
ප්රථම සම්බෝධිවර්ග යි.
එහි උද්දානය:
සම්බෝධි සූත්රය, නිස්සය සූත්රය, මේඝිය සූත්රය, නන්දක සූත්රය, බල සූත්රය, සේවිතබ්බාසේවිතබ්බ සූත්රය, සුතවා සූත්රය, සජ්ඣ සූත්රය, පුග්ගල සූත්රය, ආහුනෙය්ය සූත්රය යි දශයෙක.
2. සීහනාද වර්ගය
9. 1. 2. 1.
සාරිපුත්ත සීහනාද සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වෙත එළැඹිය හ. එළැඹ භාග්යවතුන් සකසා වැඳ එකත්පස් ව හුන් හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භගවතුන්ට තෙල සැලකළහ. “වහන්ස, මා විසින් සැවැත්හි වස්සාවාසය වැස නිමවී ය. වහන්ස, මම ජනපදචාරිකාවට පිටත් වනු කැමැතියෙමි”යී. ශාරිපුත්ර ය, තෙපි දැන් යමක් සඳහා කල් දනිවු නම් එය කරව, ඉක්බිති සැරියුත් තෙරණුවෝ හුනස්නෙන් නැඟී භාග්යවතුන් සකසා වැඳ පැදකුණු කොට බැහැර ගියහ.
එකල එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරුන් ගිය නො බෝ කල්හි භගවත්නට තෙල සැලකළේ ය: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වූහ” යි.
එකල්හි භාග්යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූහ: මහණ, එව. තෙපි මාගේ වචනයෙන් “ඇවැත් ශාරීපුත්රයෙනි, ශාස්තෘහු තොප කැඳවති”යි සාරිපුත්රයන් අමතව, ‘වහන්ස, එසේ ය’යි ඒ මහණ භගවත්නට පිළිවදන් අස්වා සැරියුත්තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹැ තෙල කී ය: “ඇවැත් ශාරීපුත්රයෙනි, ශාස්තෘහු තොප අමතති”යී “ඇවැත්නි එසේය”යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එ මහණහට පිළිවදන් ඇස් වූ හ.
එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද දොරයතුරු ගෙන වෙහෙරින් වෙහෙර ඇවිදුනාහ. “ආයුෂ්මත්නි, එව ආයුෂ්මත්නි, එව දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් හමුයෙහි සීහනාද කරති”යි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භගවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුනට භගවත්හු තෙල වදාළහ: ශාරීපුත්රයෙනි, මෙහි තොපගේ එක්තරා සබ්රම්සරකෙනෙක් කථාධර්මයකට (දොස් පැවසීමකට) පැමිණියහ. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා නො කමවා චාරිකාවට පිටත් වූහ”යි.