9. 1. 1. 7.
සුතවාපරිබ්බාජක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වසන සේක. එකල්හි සුතවා පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සුතවා පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය:
වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මේ (පර්‍වත වළල්ලෙන් වටවූ හෙයින්) ගිරිව්‍රජ නම් වූ රජගහනුවර ම වාසය කරන සේක. වහන්ස, එකල්හි මා විසින් “සුතවායෙනි, යම් ඒ අර්‍හත් ක්‍ෂීණාශ්‍රව වූ වැස නිමකළ මඟ බඹසර ඇති කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බරැති, පැමිණි රහත් බැව් ඇති පරික්‍ෂීණ භව සංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ මහණෙක් වේ නම් හේ කරුණු පසක් ඉක්මවන්නට අභව්‍ය වෙයි: ක්‍ෂීණාස්‍රව මහණ දැන දැන ප්‍රාණියකු දිවියෙන් ගලවනට අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ ථෙය්‍ය සඞ්ඛ්‍යාත නුදුන් දෑ සොර සිතින් ගන්නට අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ මෙවුන් දම් සෙවුමට අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ දැන දැන මුසවා කීමය අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරක ව හෙවත් තැන්පත් කොට තබාගෙන කාමයන් සෙවුමට අභව්‍ය වේ ය” යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී. හමුවෙහි පිළිගන්නා ලදී. වහන්ස, කිම මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාෂිතය මනාකොට අසන ලද ද? මනාකොට උගන්නා ලද ද? මොනොවට මෙනෙහි කරන ලද ද? මොනොවට දරන ලද ද? යි
සුතවායෙනි, එකතින් ඒ තා විසින් මොනොවට අසන ලද, මොනොවට උගන්නා ලද, මොනොවට මෙනෙහි කරන ලද, මනාකොට දරන ලද, සුතවායෙනි, දැනුදු මම මෙසේ කියමි: “අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසර ඇති, කළමඟ කිස ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල ඇති, ගෙවූ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු යම් ඒ මහණෙක් වේ නම්, හේ කරුණු පසක් මඩනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන සතක්හු දිවියෙන් ගැලවීමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍යසඞ්ඛ්‍යාත සොරසිතින් නුදුන් දෑ ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන මුසවා කියනට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරකව කාමයන් වළඳනට අභව්‍ය වෙයි.
රහත් මහණ බුදුන් ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ ධර්‍මය ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ සංඝයා ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වේ” යයි. සුතවායෙනි, මම් පෙරත් දැනුත් “අර්‍හත් වැසනිම වූ මඟ බඹසර ඇති කළ සිවුමඟකිස ඇති බහා තැබූ කෙලෙස් බරැති පත් රහත් පල ඇති, ගෙවූ භවසංයෝජන ඇති, යම් ඒ මහණෙක් වේ නම්, හේ මේ කරුණු නවය මඩනට අභව්‍ය ය” යි මෙසේ ම කියමි යි.
9. 1. 1. 8.
සජ්ඣපරිබ්බාජක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වසන සේක. එකල්හි සජ්ඣ පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සජ්ඣ පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය:
වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මේ ගිරිව්‍රජ නම් වූ රජගහනුවර ම වාසය කරන සේක. වහන්ස, එකල්හි මා විසින් “සජ්ඣයෙනි, අර්‍හත් ක්‍ෂීණාශ්‍රව වූ වැසනිම වූ මඟ බඹසර ඇති, කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල සඞ්ඛ්‍යාත ස්වාර්‍ත්‍ථය ඇති, ගෙවූ භව සංයෝජන ඇති, මනාකොට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම් හේ කරුණු පසක් මඩනට අභව්‍ය වේ” යි. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී. හමුවෙහි පිළිගන්නා ලදී:
රහත් මහණ දැන දැන පරපණ දිවියෙන් ගැලවුමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍යසඞ්ඛ්‍යාතය ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ මුසවා කීමට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරක ව කාමයන් වළඳනට අභව්‍ය වේ ය” යි. වහන්ස, කිම, තෙල මා විසින් මැනවින් අසන ලද ද? මනාකොට උගන්නා ලද ද? මොනොවට මෙනෙහි කරන ලද ද? මොනොවට දරන ලදදැ’ යි.