9. 1. 1. 6.
සේවිතබ්බාසේවිතබ්බ සූත්රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි මහණෙනි’ යි මහණුන් ඇමතූහ. ඇවැත්නි යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවෝ තෙල කීහ. ඇවැත්නි, පුඟුලාත් සේවිතව්ය ද අසේවිතව්ය දැයි දෙපරිද්දෙන් දත යුත්තේ ය. ඇවැත්නි, චීවරයත් සේවිතව්ය ද අසේවිතව්ය දැයි දෙපරිද්දෙන් දතයුතු. පිණ්ඩපාතයත් සේවිතව්ය ද අසේවිතව්ය දැයි දෙපරිද්දෙන් දතයුතු. ඇවැත්නි, සෙනසුනුත් සේවිතව්ය ද අසේවිතව්ය දැයි දෙපරිදියෙන් දතයුතු. ඇවැත්නි, ගම් නියම්ගමුත් සේවිතව්ය ද අසේවිතව්ය දැයි දෙපරිදියෙන් දතයුතු. ඇවැත්නි, දනවුපියෙසුත් සේවිතව්ය ද අසේවිතව්ය දැයි දෙපරිදියෙන් දතයුතු.
“ඇවැත්නි, පුඟුල් ද සේවිතව්ය ද අසේවිතව්ය දැයි දෙපරිද්දෙන් දතයුතු වේ ය” යි තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහි යම් පුඟුලකු “මේ පුඟුල්හු සෙවුනාහට අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්. පැවිදි වූ මා විසින් ජීවිත පරිෂ්කාර වූ යම් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර කෙනෙක් රැස්කර ගතයුතු වෙද් ද, ඔහුදු දුක සේ උපදිත්. යමක් ම සඳහා මම් ගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් වෙම් නම් මාගේ ඒ ශ්රාමණ්යාර්ත්ථය ද භාවනායෙන් පිරිපුන් බවට නො යේ” යි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් ඒ පුද්ගල දැනත් රාත්රිභාගයෙහි වේව යි දිවසභාගයෙහි වේව යි නො විමසා බැහැර යා යුතු. නො ලුහුබැඳිය යුතු.
එහි යම් පුඟුලකු “මෙ පුඟුල් සෙවුනා වූ මාගේ අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්, පැවිදි වූ මා විසින් ජීවිතපරිෂ්කාර වූ යම් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර කෙනෙක් රැස් කරගත යුතු වෙත් නම් ඔහුත් නො දුකින් උපදිත්. යමක් ම සඳහා මම ගෙන් නික්ම අනගාරිය සස්නෙහි පැවිදි වූයෙම් වෙම් නම් ඒ මාගේ ශ්රාමණපාර්ත්ථයත් භාවනායෙන් පිරිපුන් බවට නො යේ” යි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් දැනත් ඒ පුඟුල් නො විමසා බැහැර යා යුතුයි. නො ලුහුබැඳිය යුතු.
එහිලා යම් පුඟුලක්හු “මේ පුඟුල් සෙවුනා මාහට අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශලධර්මයෝ වැඩෙත්, පැවිදි වූ මා විසින් ජීවිතපරිෂ්කාර වූ යම්බඳු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර උපදවාගත යුතු වී නම් එද නිදුකින් උපදනේ ය. යම් ම අර්හත් ඵල සඞ්ඛ්යාත අර්ත්ථයක් පිණිස ගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් මාගේ ඒ ශ්රාමණ්යාර්ත්ථයත් භාවනායෙන් පිරිපුන් බවට යේ” යයි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් ඒ පුඟුල් දැනගෙන ද ලුහුබැඳිය යුත්තේය. බැහැර නොයා යුතු.
එහිලා යම් පුඟුලකු “මේ පුඟුල්හු සෙවුනා මාහට අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශලධර්මයෝ වැඩෙත්, පැවිදි වූ මා විසින් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර බඳු යම් ම ජීවිතපරිෂ්කාර කෙනෙක් උපයාගත යුතු වෙත් නම් ඔහු ද නිදුකින් ඉපැයෙතැයි ද යම් රහත් පලක් පිණිස ගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් වෙම් නම් මාගේ තෙල ශ්රාමණ්යාර්ත්ථයත් භාවනායෙන් පිරිපුන් බවට යේ යයි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් එම පුද්ගල දිවිහිමියෙන් ලුහුබැඳිය යුත්තේ ය. නෙරනා ලදහු විසිනුදු බැහැර නොයා යුතු. “ඇවැත්නි, පුද්ගලයා ද සේවිතව්ය ය, අසේවිතව්ය යි දෙපරිදියෙන් දත යුත්තේ” යි ඒ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
“ඇවැත්නි, චීවරත් සේවිතව්ය ය අසේවිතව්ය යයි දෙපරිදියෙන් දතයුතු” යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහි ලා යම් චීවරයක් “මේ චීවරය සෙවුනා මට අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්” යයි දන්නේ නම් එබඳු චීවරය නො සෙවිය යුතු. එහි යම් චීවරයෙක් “මේ චීවරය සෙවුනා මට අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්” යයි දන්නේ නම් එබඳු චීවරය සෙවිය යුතු. “ඇවැත්නි, චීවරයත් සෙවිය යුතුය නො සෙවිය යුතු යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ ඒ යමෙක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලදී.
“ඇවැත්නි, පිණ්ඩපාතයත් සේවිතව්ය ය අසේවිතව්ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහිලා යම් පිණ්ඩපාතයක් “මේ පිණ්ඩපාතය සෙවුනා මට අකුශලධර්මයෝ වැඩෙත්, කුශලධර්මයෝ පිරිහෙත්” යයි දන්නේ නම් එබඳු පිණ්ඩපාතය නො සෙවිය යුත්තේ ය, එහිලා යම් පිණ්ඩපාතයෙක් “මේ පිණ්ඩපාතය සෙවුනා මට අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශලධර්මයෝ වැඩෙත්” යයි දන්නේ නම් එබඳු පිණ්ඩපාතය සෙවිය යුත්තේ ය. “ඇවැත්නි, පිණ්ඩපාතයත් සේවිතව්ය ය අසේවිතව්ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි ඒ යමක් කියන ලද නම් තෙල මෙම කරුණ සඳහා කියන ලදී.