9. 1. 1. 5.
බලසඞ්ගහවත්‍ථු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ බල සතරෙකි. කවර සතරෙක යත්? පඤ්ඤා බල ය, විරිය බල ය, අනවජ්ජ බල ය, සඞ්ගහ බල යි. මහණෙනි, පඤ්ඤාබල නම් කවර යත්: අකුශල වූ අකුශලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද කුශල වූ කුශලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, සාවද්‍ය වූ සාවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ අනවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, කෘෂ්ණ වූ කෘෂ්ණසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, ශුක්ල වූ ශුක්ලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, අසේවිතව්‍ය වූ අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, සේවිතව්‍ය වූ සේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු විසින් ඒ ධර්‍මයෝ මොනොවට දක්නාලදහු වෙත්. මනෝද්වාරයෙහි මොනොවට සමුදාචාරප්‍රාප්ත වෙති. මහණෙනි, මේ පඤ්ඤාබල යි කියනු ලැබේ.
මහණෙනි, විරිය බල නම් කවර යත්: අකුශල වූ අකුශලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, සාවද්‍ය වූ සාවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, කෘෂ්ණ වූ කෘෂ්ණසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, අසේවිතව්‍ය වූ අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ දහමුන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වැර අරඹයි, සිත නඟා ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි, කුශල් වූ කුශලසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ අනවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ශුක්ල වූ ශුක්ලසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, සේවිතව්‍ය වූ සේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, එ දහමුන්ගේ ප්‍රතිලාභය පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර වඩයි, සිත නඟා ගනියි, ප්‍රධන් කෙරෙයි. මහණෙනි, මේ විරිය බලැයි කියනු ලැබේ.
මහණෙනි, අනවජ්ජබල නම් කවර: මහණෙනි, මෙසස්නෙහි අරිසවු අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය මනඃ කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ අනවද්‍ය බලැයි කියනු ලැබේ.
මහණෙනි, සඞ්ගහ බල නම් කවර යත්: මහණෙනි, මේ සඞ්ග්‍රහවස්තු සතරෙකි. දාන ය, ප්‍රිය වචන ය, අර්‍ත්‍ථචර්‍ය්‍යා ය, සමානාත්මතා යි. මහණෙනි, යම් මේ ධර්‍මදානයෙක් වේ ද, දානයන් අතුරෙහි මේ අග්‍ර යි. මහණෙනි, කන් යොමු කොටගත් ධර්‍මදේශනායෙන් ප්‍රයෝජන ඇතියකු හට පුනපුනා දම් දෙසන්නේය යන යමෙක් වේ නම් ප්‍රියවචන අතුරෙහි තෙල අග්‍ර යි. මහණෙනි, අශ්‍රාද්ධයකු ශ්‍රද්ධාසම්පත්හි සමාදන් කරවයි. වස්වයි. පිහිටුවයි. දුසිල්හු ශීලසම්පත්හි සමාදන් කරවයි. වසවයි. පිහිටුවයි. මසුරක්හු ත්‍යාගසම්පත්හි සමාදන් කරවයි. වස්වයි. පිහිටුවයි. දුෂ්ප්‍රාඥයන් ප්‍රඥාසම්පත්හි සමාදන් කරවයි. වස්වයි. පිහිටුවයි යන මෙබඳු යමෙක් වේ නම් අර්‍ත්‍ථචර්‍ය්‍යාවන් අතුරෙහි මේ අග්‍ර යි. සෝතාපන්න වූයේ සෝතාපන්නයකුහට සමානාත්ම වෙයි. සකදාගාමී වූයේ සකදාගාමියක්හට සමානාත්ම වෙයි. අනාගාමී වූයේ අනාගාමියක්හට සමානාත්ම වෙයි. අර්‍හත් වූයේ අර්‍හත්හට සමානාත්ම වෙයි යන මෙබඳු යමෙක් වේ නම් සමානාත්මතාවන් අතුරෙහි මේ අග්‍ර යි. මහණෙනි, මේ සඞ්ග්‍රහ බලැයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර බලයි.
මහණෙනි, මේ සතර බලයෙන් සමන්‍වාගත අරිසවු පස්බිය ඉක්ම වූයේ වෙයි. කවර පස් බියෙක් යත්: ආජීවිකභය, (ජීවිතවෘත්තිය පිළිබඳ බිය) අසිලෝකභය (ගැරහුම් ලැබීමේ බිය) පරිසසාරජ්ජභය (පිරිස්මැද පසුබෑමේ බිය) මරණභය, දුග්ගතිභය (අපාය බිය) යි. මහණෙනි, ඒ අරිසවු තෙමේ මෙසේ සලකයි: මම ආජීවිකභයින් (දිවිවැටුම් බියෙන්) නොබානෙමි. කවර හෙයින් මම ආජීවිකභයින් බානෙම් ද, මට පඤ්ඤාබලය, විරිය බලය, අනවජ්ජ බලය, සඞ්ගහ බලය යන සතර බල ඇත. දුෂ්ප්‍රාඥ වූයේම ආජීවිකභයින් බානේ ය. කුශීත වූයේ ම ආජීවිකභයින් බානේ ය. සාවද්‍ය කායකර්‍මාන්ත ඇතියේ වාක්කර්‍මාන්ත ඇතියේ මනඃකර්‍මාන්ත ඇතියේ ආජීවිකභයින් බානේ ය. අසඞ්ග්‍රාහක වූයේ ආජීවිකභයින් බානේ ය. මම අසිලෝක භයින් නො බමි ... මම පරිසසාරජ්ජභයින් නො බමි ... මම මරණභයින් නො බමි ... මම දුග්ගතිභයින් නො බමි ... කවර හෙයින් මම දුග්ගතිභයින් බානෙම් ද? මට සිවුබලකෙනෙක් ඇත. පඤ්ඤාබලය, විරියබලය, අනවජ්ජබලය, සඞ්ගහබලයි. දුෂ්ප්‍රාඥ වූයේ ම දුග්ගතිභයින් බානේ ය. කුසීත වූයේ දුග්ගතිභයින් බානේ ය. සාවද්‍යකායකර්‍ම ඇතියේ ... වාක්කර්‍ම ඇතියේ ... මනඃකර්‍ම ඇතියේ දුග්ගතිභයින් බානේ ය. අසඞ්ග්‍රාහක වූයේ දුග්ගතිභයින් බානේ ය. මහණෙනි, මේ සිවුබලෙන් සමන්‍වාගත අරිසවු මේ පස්බිය ඉක්ම ගියේ වෙයි.