9. 1. 1. 4.
නන්දක සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් නන්දක ස්ථවිර උවටන්හල්හි දැහැමි කථායෙන් මහණුන්ට කරුණු දක්වයි, සමාදන් කරවයි, සමුත්තේජනා කරවයි. මොනොවට පහන් කරවයි.
එකල්හි භාග්යවතුන් වහන්සේ සවස් වරුයෙහි පිළිසලනින් නැඟී සේක් උවටන්හල වෙත එළඹි සේක. එළැඹ බිහිදොරටුයෙහි කථාපර්ය්යවසානය බලන සේක් වැඩ සිටියහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ කථාපර්ය්යවසානය දැන කාරා දොරගුල පහළහ. එ මහණහු භගවත්නට දොර විවර කළහ. එකල්හි භාග්යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට පිවිසියහ. පිවිස පැන වූ අස්නෙහි හුන්හ. හිඳ භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දකහට තෙල වදාළ සේක. නන්දකය, තාගේ මේ දීර්ඝධර්මපර්ය්යාය ය මහණුන්හට වැටහිණ. එතෙකුදු වුව බිහි දොරටුයෙහි කතා කෙළවර බලා සිටි මාගේ පිට රිදෙයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් නන්දක බියපත් සැහැවි ඇත්තේ භාග්යවතුනට තෙල සැල කළේය. වහන්ස, අපි භාග්යවතුන් බිහි දොරටුයෙහි සිටියහ යි නොදන්මු. වහන්ස, ඉදින් අපි භගවතුන් බිහි දොරටුයෙහි සිටියහ යි දත්තමෝ නම් අපට මෙ පමණකුදු නො වැටහේ යි (නො කියවෙන්නේ යි.)
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක ස්ථවිර බියපත් සැහැවි ඇතියහු දැන ආයුෂ්මත් නන්දක හට තෙල වදාළ සේක. නන්දකය, මැනවි මැනවි. නන්දකය, කුලපුත්ර වූ සැදැහැයෙන් ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූ තොපට යම් හෙයකින් මෙබඳු දැහැමි කථායෙන් තෙපි හිඳිනහු නම් එය සුදුසු වෙයි. නන්දකය රැස් වූ තොප විසින් කටයුතු දෙකෙකි. දැහැමි කථාව හෝ ආර්ය්යතුෂ්ණීම්භාවය හෝ යි.
නන්දකය, මහණ සැදැහැතියේ වෙයි. සිල්වත් නො ද වෙයි. මෙසේ හේ ඒ කරුණින් අපරිපූර්ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කවර උපායෙන් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙමි යි. නන්දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එකරුණින් පරිපූර්ණ වෙයි.
නන්දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වෙයි. අධ්යාත්මයෙහි චිත්තසමථය නො ලබනසුලු වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කිමෙකින් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද අධ්යාත්මයෙහි චිත්තසමථය ලබනසුලු යෙම් ද වෙම් දැයි. නන්දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්යාත්මයෙහි චිත්තසමථය ලබනසුලුයේත් වේ ද, මෙසේ හේ එ කරුණින් පරිපූර්ණ වෙයි. නන්දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්යාත්මයෙහි චිත්තසමථ ලබනසුලුයේත් වෙයි, සංස්කාරපරිග්රහවිදර්ශනාඥානය නොලබන සුලුයේ වෙයි ද, මෙසේ හේ එකරුණින් අපරිපූර්ණ වේ.