9. 1. 1. 3.
මේඝිය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ චාලිකා නගරසමීපයෙහි වූ චාලිකාපර්වතයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්යවතුන් වෙත එළඹියේය. එළැඹ භාග්යවතුන් සකසා වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්යවතුන්හට තෙල සැළකළේය. වහන්ස, මම ජන්තුග්රාමයට පිඬු පිණිස වඩනට කැමැති යෙමි යි. මේඝිය යමක් පිණිස තෝ දැන් කලැයි හඟනේ නම් එය කරවයි.
එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ජන්තුග්රාමයට පිඬු පිණිස පිවිසියේය. ජන්තුග්රාමයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියේ කිමිකාලා නදී තීරය යම් තැනෙක්හි ද එහි එළඹියේය. ආයුෂ්මත් මේඝිය ස්ථවිර තෙම කිමිකාලා නදී තීරයෙහි ජඞ්ඝාවිහරණයෙන් සක්මන් කරනුයේ අනුවිචරණය කරනුයේ පහන් එළවන රමණී අඹවනයක් දිටී. දැක ඔහුට මෙ සිත වී: එකතින් මේ අඹවනය පහන් එළවයි, රමණී වෙයි. එකතින් මෙය ප්රධන්වීර්ය්ය වඩනු කැමැති කුලපුතක්හුගේ ප්රධන් වැඩීම පිණිස සුදුසු ය. ඉදින් භාග්යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් ප්රධන් පිණිස මම මේ අඹවනයට එමැයි.
ඉක්බිති ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්යවතුන් වහන්සේට තෙල සැල කළේය: වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන ජන්තුග්රාමයට පිඬු පිණිස වන්මි. ජන්තුග්රාමයෙහි පිඬු පිණිස හැසිර පසු බත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියෙම් කිමිකාලා නදී තීරයට එළැඹියෙමි.
වහන්ස, කිමිකාලා නදී තීරයෙහි ජඞ්ඝාවිහාරයෙන් මම සක්මන් කරනුයෙම් අනුසඤ්චරණ කරනුයෙම් පහන් එළවන රමණී අඹවනයක් දිටිමි. දැක මට මෙ සිත විය. එකතින් මේ අඹවනය පහන් එළවන්නෙකි, රමණී වෙයි, ප්රධානාර්ත්ථී වූ කුලපුතක්හට ප්රධන් පිණිස සුදුසු ය. ඉදින් භාග්යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් ප්රධන් පිණිස මම මේ අඹවනයට එමි යි. ඉදින් භාග්යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්රධන් පිණිස යෙමි යි.
මේඝිය ය, මඳකලක් බලව, (අපි) එකලා වම්හ. අන්කිසි මහණක්හු එන තාක් බල.
දෙවන වරටත් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්යවතුන් හට තෙල සැල කළේය: වහන්ස, භාග්යවතුන්ට මතුයෙහි කටයුතු කිසිවක් නැත. කෘතයක්හුගේ පුනපුනා කිරීමෙක් නැති. වහන්ස, මට වැලිත් මතුයෙහි කරණී ඇත. කළ දැයක්හුගේ පුනපුනා කිරීමෙක් ඇති. ඉදින් භාග්යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්රධන් පිණිස යන්නෙමැ යි.
මේඝිය ය, මඳකලක් බලව, (අපි) එකලා වම්හ. අන්කිසි මහණක්හු එන තාක් බල.
තෙවන වරටත් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්යවතුන් හට තෙල සැල කළේය: වහන්ස, භාග්යවතුන්ට මතුයෙහි කටයුතු කිසිවක් නැත. කෘතයක්හුගේ පුනපුනා කිරීමෙක් නැති. වහන්ස, මට වැලිත් මතුයෙහි කරණී ඇත. කෘතයාගේ පුනපුනා කිරීමෙක් ඇති. ඉදින් භාග්යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්රධන් පිණිස යෙමි යි.
මේඝිය, ප්රධන් ය යි කියනුව හට කුමැයි කියමෝ ද? මේඝිය, තෝ දැන් යමක් සඳහා කලැයි හඟිහි නම් එය කර.
එකල්හි ආයුෂ්මත් මේඝිය හුනස්නෙන් නැඟී භාග්යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඒ අඹවනය කරා එළඹියේය. එළැඹ ඒ අඹවනයට වැද ගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහාර පිණිස හුන්නේය. ඉක්බිති ඒ අඹ වෙනෙහි වෙසෙන ආයුෂ්මත් මේඝිය ස්ථවිරහට බෙහෙවින් තුන් ලාමක අකුශල විතර්කයෝ පහළ වෙති. එනම්; කාමවිතර්ක, ව්යාපාදවිතර්කය, විහිංසා විතර්ක යි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිරහට මෙ සිත වීය: භවත්නි, එකැතින් ආශ්චර්ය්ය යි. භවත්නි, එකැතින් අද්භූත යි. එකැතින් මම සැදැහැයෙන් ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූයෙම් වෙමි. වැලිත් කාම විතර්කයෙන් ව්යාපාද විතර්කයෙන් විහිංසා විතර්කයෙනැයි මේ තුන් ලමු අකුශල විතර්කයන් විසින් ලුහුබැඳියෙම් වෙමි.