9. 1. 1. 2.
නිස්සයසම්පන්න සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය. වහන්ස, නිස්සයසම්පන්න ය නිස්සයසම්පන්න ය යි කියනු ලැබෙයි. වහන්ස, මහණ කෙතෙක් කරුණින් නිස්සයසම්පන්න වේ දැයි.
මහණ, ඉදින් මහණ (අවකල්පන) ශ්‍රද්ධාව නිසා අකුශලය දුරු කෙරේ ද කුශලය වඩා ද ඔහුගේ ඒ අකුශල ප්‍රහීණ ම වෙයි.
මහණ, ඉදින් හිරිය නිසා ... මහණ ඉදින් ඔත්තප්පය නිසා ... මහණ ඉදින් ප්‍රඥාව නිසා අකුශලය දුරු කෙරේ ද, කුසල් වඩා ද, ඔහුගේ අකුශලය ප්‍රහීණ ම වෙයි. ඒ මහණහුගේ යම් අකුශලයක් ආර්‍ය ප්‍රඥායෙන් දැක ප්‍රහීණ වී ද, එ මහණහුගේ ඒ අකුශලය ප්‍රහීණ ම වූයේ සුප්‍රහීණ වූයේ වෙයි.
මහණ, එ මහණහු විසින් මේ පඤ්චධර්‍මයන්හි පිහිටා සතර ධර්‍ම කෙනෙක් ඇසුරු කොට විසිය යුත්තාහ. කවර සතර කෙනෙක යත්: මහණ, මෙසස්නෙහි මහණ සෙවිය යුතු එකක් දැන සෙවුනේ ය. ඉවැසිය යුතු එකක් දැන ඉවසන්නේය. දුරලිය යුතු එකක් දැන දුරලන්නේය. හළ යුතු එකක් දැන හරන්නේය. මහණ, මෙසේ මහණ නිස්සයසම්පන්න වේ.
9. 1. 1. 3.
මේඝිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාලිකා නගරසමීපයෙහි වූ චාලිකාපර්‍වතයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන්හට තෙල සැළකළේය. වහන්ස, මම ජන්තුග්‍රාමයට පිඬු පිණිස වඩනට කැමැති යෙමි යි. මේඝිය යමක් පිණිස තෝ දැන් කලැයි හඟනේ නම් එය කරවයි.
එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියේය. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියේ කිමිකාලා නදී තීරය යම් තැනෙක්හි ද එහි එළඹියේය. ආයුෂ්මත් මේඝිය ස්ථවිර තෙම කිමිකාලා නදී තීරයෙහි ජඞ්ඝාවිහරණයෙන් සක්මන් කරනුයේ අනුවිචරණය කරනුයේ පහන් එළවන රමණී අඹවනයක් දිටී. දැක ඔහුට මෙ සිත වී: එකතින් මේ අඹවනය පහන් එළවයි, රමණී වෙයි. එකතින් මෙය ප්‍රධන්වීර්‍ය්‍ය වඩනු කැමැති කුලපුතක්හුගේ ප්‍රධන් වැඩීම පිණිස සුදුසු ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් ප්‍රධන් පිණිස මම මේ අඹවනයට එමැයි.
ඉක්බිති ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය: වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස වන්මි. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිර පසු බත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියෙම් කිමිකාලා නදී තීරයට එළැඹියෙමි.