9. 1. 1. 1.
සම්බෝධිපක්ඛිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි චතුර්මාර්‍ගසඞ්ඛ්‍යාත සම්බෝධිපක්‍ෂයෙහි වූ ධර්‍මයන්ගේ වැඩීමට කවර උපනිශ්‍රය ප්‍රත්‍යයෙක් දැ”යි මෙසේ පුළුවුස්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කුමැයි පවසන්නාහු දැ? යි.
වහන්ස අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් ප්‍රධාන කොට ඇතියහ. භාග්‍යවතුන් පිළිසරණ කොට ඇතියහ. වහන්ස එතැකින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වටහා නම් මැනව. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා දරන්නාහ යි.
මහණෙනි, එසේ වී නම් අසවු. මොනොවට මෙනෙහි කරවු. දෙසන්නෙමි යී. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල අර්‍ත්‍ථය වදාළ සේක:
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි සම්බෝධි පාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව සඳහා කවර උපනිඃශ්‍රයප්‍රත්‍යයෙක් වේ දැ” යි මෙසේ පුළුවුස්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු.
1. ඇවැත්නි, මේ සස්නෙහි මහණ කලණමිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණමිතුරන් කෙරෙහි නැමුණේ වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ ප්‍රථම උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
2. තවද ඇවැත්නි, මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කෙරෙයි. අණුමාත්‍ර වද්‍යයෙහි බිය දක්නා සුලු වූයේ සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ දෙවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
3. තවද ඇවැත්නි, යම් මේ කථාවක් ක්ලේශාභිලේඛනයට හිත ද, ශමථ විදර්‍ශනා චිත්තයාගේ විවරණයට සත්ප්‍රාය ද, එනම් අප්පිච්ඡකථාය, සන්තුට්ඨිකථාය, පවිවේකකථාය, අසංසග්ගකථාය, විරියාරම්භකථාය, සීලකථාය, සමාධිකථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඤාණදස්සනකථා යයි, එබඳු කථා කැමැති පරිදි ලබන සුලු සුවසේ ලබන සුලු විපුල ව ලබන සුලු වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ තෙවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
4. තවද ඇවැත්නි, මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹූ වැර ඇතියේ ස්ථාමයෙන් යුක්ත වූයේ දෘඪපරාක්‍රම ඇතියේ කුශලධර්‍මයන්හි බහා නො තබන ලද ධුර ඇතියේ වාසය කෙරෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ සිවුවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
5. තවද ඇවැත්නි, මහණ (පඤ්චස්කන්‍ධයාගේ) උදය හා විනාශය පිළිවිදිනු සමත් වූ පිරිසිදු වූ කෙළෙස් විදලීමට සමත් වූ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ පස්වන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
මහණෙනි, කලණමිතුරන් ඇති කලණයහළුවන් ඇති කලණමිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: “සිල්වත් වන්නේ ය, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර සම්පන්නව වාසය කරන්නේ ය. අණුමාත්‍රවද්‍යයෙහිදු බිය දක්නා සුලු සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි” කියා යි.
මහණෙනි, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ යහළුවන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: අප්පිච්ඡකථාය ... විමුත්තිඤාණදස්සනකථාය යි ක්ලේශාභිලේඛනයට හිත වූ ශමථවිදර්‍ශනාචිත්තයාගේ විවරණයට සත්ප්‍රාය වූ යම් මේ කථායෙක් වේ නම් එබඳු කථා කැමැති පරිදි ලබන සුලු සුවසේ ලබන සුලු විපුලව ලබන සුලු වන්නේ ය කියා යි.