8. 2. 6. 8.
දෙවැනි ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටදහමෙකින් සමන්‍වාගත මහණ ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර අටෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි, බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදියේ වෙයි, ඇරඹු වැර ඇතියේ වීර්‍ය්‍යස්ථාමයෙන් යුක්ත වූයේ දළ පැරකුම් ඇතියේ කුශල ධර්‍මයන් කෙරෙහි නො බහා තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වෙසෙයි: ප්‍රාන්ත ශයනාසන ඇතියේ ආරණ්‍යක වෙයි, අරති හා රති හා ඉවසනුයේ වෙයි, උපන් අරතිය මැඩ මැඩ වෙසේ, භය හා භෛරව හා ඉවසනුයේ උපන් අරතිය මැඩ මැඩ වෙසේ, අධිචිත්තයෙහි උපන් දිටුදැහැමියෙහි සුඛ විහරණ වූ සතර ධ්‍යානයන් කැමතිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුලසේ ලබනුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් ... පසක් කොට එයට එළඹ වාසය කරයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ.
8. 2. 6. 9.
ප්‍රථම අට්ඨපුග්ගල සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙත්, පාහුනෙය්‍ය වෙත්, දක්ඛිණෙය්‍ය වෙත්, අඤ්ජලිකරණීය වෙත්, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්. කවර අටදෙනෙක යත්:
සෝතාපන්නය, සෝවන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, සකදාගාමීය, සකදාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය. රහත් ය, රහත්ඵල පසක් කිරීමට පිළිපන්නේ යි. මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙති ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.
1. සතර මඟට පිළිපන්නාහු ය, සතර ඵලයෙහි සිටියහ යන තෙල සඞ්ඝ තෙමේ ඍජු වූයේ ප්‍රඥා ශීල සමාධියෙන් යුක්ත වූයේ ය.
2. දන් දෙන මිනිස්නට පින් කැමති ප්‍රාණීන්හට උපධිවිපාක ඇති (ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති වශයෙන් සැප විපාක දෙන) පින් කරනුවට සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වෙයි.
8. 2. 6. 10.
ද්විතීය අට්ඨපුග්ගල සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ පුද්ගලයෝ අටදෙනෙක් ආහුනෙය්‍ය වෙත් ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වෙත්. කවර අට දෙනෙක යත්: සෝතාපන්න ය, සෝවන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, සකදාගාමීය. සකදාගාමීඵල පසක් කිරීමට පිළිපන්නේ ය; අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්ඵල පසක් කිරීමට පිළිපන්නේයි. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙන ආහුනෙය්‍ය වෙත් ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.
1. මාර්‍ගයට පිළිපන් සතර දෙනෙක් ද ඵලයෙහි පිහිටි සතර දෙනෙක් ද යන පුද්ගලයෝ අට දෙනෙක් වෙත්. සත්ත්‍වයනට මෙය උත්කෘෂ්ට සඞ්ඝ වෙයි.
2. දන් දෙන මිනිස්නට පින් කැමති සත්නට උපධිවිපාක ඇති පින් කරනුවට මේ සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේයයි.
සවැනි ගෝතමී වර්‍ගය යි.
එහි උද්දානය:
ගෝතමී සූත්‍රය, ඕවාද සූත්‍රය, සඞ්ඛිත්ත (ගෝතමීයො වාද) සූත්‍රය, දීඝජාණු (ව්‍යග්ඝපජ්ජ) සූත්‍රය, උජ්ජය සූත්‍ර ය, භය (කාමාධි වචන) සූත්‍ර ය, ආහුනෙය්‍ය සූත්‍ර දෙකය අට්ඨපුග්ගල සූත්‍ර දෙක දැයි සූත්‍ර දශයෙකි.