7. 2. 4. 10.
[සද්ධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මෙ සද්ධර්‍ම සතෙකි. කවර සතෙක යත්:
සැදැහැතියේ වෙයි. හිරිඇතියේ වෙයි. ඔතප් ඇතියේ වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. ස්මෘතිමත් වෙයි. ප්‍රඥාවත් වෙයි.
මහණෙනි, මෙ සද්ධර්‍ම සත යි.
සමණවර්‍ගය සතර වැනි යි.
එහි උද්දානය:
භික්ඛුධම්ම සූත්‍රය, සමණධම්ම සූත්‍රය, බ්‍රාහ්මණධම්ම සූත්‍රය, සොත්‍ථියධම්ම සූත්‍රය, නහාතකධම්ම සූත්‍රය, වේදගුධම්ම සූත්‍රය, අරියධම්ම සූත්‍රය, අරහන්තධම්ම සූත්‍රය, අසද්ධම්ම සූත්‍රය, සද්ධම්ම සූත්‍ර දෙක දැයි දසයෙකි.
5. ආහුනෙය්‍ය වර්‍ගය
7. 2. 5. 1.
[චක්ඛුඅනිච්චානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත්දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී ව වෙසෙයි. අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිද දන්නාසුල්ලේ සතතයෙන් නරතුරු (අන් සිතින්) අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් විවසුන් නුවණින් බැසගනිමින් වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් පසක් කොට එළැඹ වෙසෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ ප්‍රථම පුද්ගල වෙයි.
තවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිදිනසුලුයේ හැමකල්හි නරතුරු අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් (විදර්‍ශනාප්‍රඥායෙන්) අනුප්‍රවේශ කරමින් වෙසෙයි. ඔහට නො පෙර නො පසුව ආස්‍රවපර්‍ය්‍යවදානය හා ජීවිතපර්‍ය්‍යවදානය හා වෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ දෙවන පුඟුලි.
තවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුරායතනයෙහි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යප්‍රතිසංවේදී වූයේ හැම කල්හි නරතුරු අව්‍යවකීර්‍ණ සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් පර්‍ය්‍යාවගාහ කරමින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ තුන්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සතරවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... අසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ පස්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... සසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. මහණෙනි, මේ සත්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
මහණෙනි, මොහු ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ පුද්ගලයෝ සත් දෙන යි.
7. 2. 5. 2.
[චක්ඛුදුක්ඛානුපස්සී සූත්‍රාදිය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, මෙ ආහුනෙය්‍ය ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් චක්‍ෂුස්හි දුඃඛානුදර්ශී වූයේ ... වෙසෙයි.