7. 1. 4. 9.
[ප්රථම චිත්තවසවත්තන සූත්රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත මහණ සිත වසෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටෙයි. කවර සතෙකින යත්:
මහණෙනි. මෙ සස්නෙහි මහණ සමාධිකුශල වෙයි. සමාධි සමාපත්තියෙහි කුශල වෙයි. සමාධිස්ථිතියෙහි කුශල වෙයි. සමාධිව්යුත්ථානයෙහි කුශල වෙයි. සමාධිකල්යභාවයෙහි කුශල වෙයි. සමාධිගෝචරයෙහි කුශල වෙයි. සමාධිඅභිනීහාරයෙහි කුශල වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්වාගත මහණ චිත්තය වශයෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටේ යයි.
7. 1. 4. 10.
[දෙවෙනි චිත්තවසවත්තන සූත්රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත සාරිපුත්තයෝ චිත්තය ස්වවශයෙහි පවත්වන්නාහ. සාරිපුත්තයෝ ද චිත්තයාගේ වශයෙන් නො පවත්නාහ. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සැරියුත්හු සමාධියෙහි කුශල වෙති. සමාධිසමාපත්ති කුශල වෙති. සමාධිස්ථිති කුශල වෙති. සමාධිව්යුත්ථාන කුශල වෙති. සමාධිකල්ය (දක්ෂභාවයෙහි) කුශල වෙත්. සමාධි ගෝචරයෙහි කුශල වෙත්. සමාධි අභිනීහාරයෙහි (එළවා ගැණීමෙහි) කුශල වෙති.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්වාගත සාරිපුත්තයෝ චිත්තය වශයෙහි පවත්වත්, සැරියුත්හු චිත්තයාගේ වශයෙන් නො පවති ත්.
7. 1. 4. 11.
[ප්රථම නිද්දස වත්ථු සූත්රය]
42. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ සැවැත්හි පිඬු පිණිස පිවිසියහ.
එක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුන්ට තෙලෙ සිත විය: “තව ම සැවැත්හි පිඬු පිණිස සැරිසරණට බොහෝ අලුයම් වෙයි. මම අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ගේ අසපුවට එළැඹෙම් නම් මැනවැ”යි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර තෙරහු අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ එ අන්තොටු පිරිවැජියන් හා සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි වැඩ හුන්හ.
එ සමයෙහි රැස් ව හුන් එ අන්යතීර්ත්ථක පරිව්රාජකයන් අතුරෙහි මෙ අතුරු කථායෙක් පාළ විය: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස් වසක් පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් හෙ ‘නිද්දස (දසවස්කථා ඉක්ම වූ) මහණ’ යි කීමට නිසි වෙ යි.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරහු එ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො ද පිළිකෙව් කළහ. නො පිළිගෙණ ප්රතික්ෂේප නො කොට “භාග්යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දනුම්හ”යි හුනස්නෙන් නැඟ වැඩියහ.
එක්බිති ආයුෂ්මත් ශාරීපුත්රයෝ සැවැත්හි පිඬු පිණිස සැරැ පසුබත් වේලෙහි පිඬුවායෙන් පෙරළා පැමිණියාහු භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් ශාරීපුත්රයෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු රැගෙණ සැවැත්හි පිඬු සඳහා පිවිසියෙමි. වහන්ස, එ මට තෙලෙ සිත් විය: සැවැත්හි පිඬු සඳහා වදනට තව බොහෝ අලුයම් වෙයි. මම අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ගේ අසපුවට කරා යෙම් නම් මැනවැයි. වහන්ස, ඉක්බිති මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළැඹියෙමි. එළැඹ එ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වීමි. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි හිනිමි. වහන්ස, එ සමයෙහි එ රැස් ව හුන් අන්තොටු පිරිවැජියන් අතුරෙහි මෙ අතුරුකථාව උපන: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස්වසක් පිරිපුන් පිරිසිදු බ්රහ්මචර්ය්යය සෙරේ නම්, ‘නිද්දස මහණ’යි කියනට නිසි වේ”ය යි. වහන්ස, එක්බිති මම එ අන්තොටු පිරිවැජ්ජන්ගේ භාෂිතය නො පිළිගතිමි, නො ම ප්රතික්ෂේප කෙළෙමි. නො පිළිගෙණ නො පිළිකෙව් කොට “භාග්යවතුන් වහන්සේ හමුයෙහි මෙ භාෂිතයාගේ අර්ත්ථය දැනගන්මි”යි හුනස්නෙන් නැඟී නික්මගියෙමි.
වහන්ස, මෙ ධර්මවිනයෙහි හුදු වස් ගණන් පමණෙකින් ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය හැකි දැ යි.
ශාරීපුත්රයෙනි, හුදු වස්ගණන් පමණෙකින් මෙ ධර්මවිනයෙහි (පුඟුලකු) ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය නො හැක්ක.
ශාරීපුත්රයෙනි, මෙ නිද්දසවතථු සත්දෙනෙක් මා විසින් තමා ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට දන්නා ලදහ. කවර සතෙක යත්: