7. 1. 4. 4.
[දෙවෙනි සෝවචස්සතා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, මේ රාත්‍රියෙහි අභිකාන්ත වර්‍ණයෙන් යුත් අන්‍යතර දෙවියෙක් මුළු දෙව්රම් වෙහෙර මැදියම් රෑහි එකලු කොට මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:
වහන්ස, භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා මෙ කරුණු සතක් වැටේ. කවර සතෙක යත්:
සත්‍ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, සෝවචස්සතා, කල්‍යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති යි.
මහණෙනි, ඒ දෙවි මේ කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළ හ. වහන්ස, භාග්‍යවතුන් විසින් සැකෙවින් වදාරණ ලද විස්තාරයෙන් විභාග නො කළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මම මෙසේ දන්මි:
වහන්ස, මේ සස්නෙහි මහණ තෙමේ ද ශාස්තෘගෞරව ඇතියේ ශාස්තෘගෞරවතායෙහි ගුණ වණනුයේ ද වෙයි. ශාස්තෘගෞරව නැති යම්බඳු අන්‍ය මහණහු වෙත් නම්, ඔවුනුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව ඇති අන්‍ය යම් බඳු මහණහු වෙත් නම් භූත විසින් යාථාවයෙන් නිසි කල්හි ඔවුන්ගේ ද ගුණ බෙණෙයි. තෙමේ ද ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇතියේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇතියේ වෙයි ... සමාධිගෞරව ඇතියේ වෙයි ... අවවාදක්‍ෂම වෙයි ... තෙමේද කලණ මිතුරන් ඇතියේ කල්‍යාණමිත්‍රතායෙහි වර්‍ණවාදී ද වෙයි. යම්බඳු අන්‍ය වූ ද කල්‍යාණ මිත්‍රයන් නැති භික්‍ෂූහු වෙත් නම්, ඔවුනුදු කල්‍යාණ මිත්‍රතායෙහි සමාදන් කරවයි. යම්බඳු අන්‍ය වූ ද කල්‍යාණ මිත්‍රයන් ඇති භික්‍ෂූහු වෙත් නම්, ඔවුන්ගේ ද භූත වූ ගුණ තථ්‍ය කොට නිසි කල්හි කියන්නේ ය.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දන්මි යි.
ශාරීපුත්‍රයෙනි, මැනැව, මැනැව, ශාරීපුත්‍රයෙනි, තෝ මා විසින් සැකෙවින් දෙසනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙ පරිද්දෙන් විතර විසින් දන්හි නම් මැනැව.
ශාරිපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් ශාස්තෘගෞරව ඇතියේ ශාස්තෘගෞරව ඇති බව්හි ගුණ කියනසුලුයේත් වෙයි. යම් අන්‍ය භික්‍ෂූහු ද ශාස්තෘගෞරව ඇත්තාහු නො වෙත් නම් ඔවුනුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. යම් බඳු අන්‍යභික්‍ෂූහු ශාස්තෘගෞරව ඇතියාහු වෙත් නම්, ඔවුන්ගේ ගුණ භූත කොට තථභාවයෙන් නිසි කල්හි බෙණෙයි. තෙමෙ ද ධර්‍මයෙහි ගෞරව ඇතියේ වෙයි .... සඟුන් කෙරෙයි ගෞරව ඇතියේ වෙයි … ශික්‍ෂායෙහි ගෞරව ඇතියේ වෙයි ... සමාධියෙහි ගෞරව ඇතියේ වෙයි ... සුවච වෙයි ... තෙමේ ද කල්‍යාණමිත්‍රයන් ඇතියේ කල්‍යාණමිත්‍රතායෙහි වර්‍ණවාදීත් වෙයි. යම්බඳු අන්‍ය භික්‍ෂුහු කල්‍යාණමිත්‍රයන් ඇතියාහු නො වෙත් නම් ඔවුනුදු කල්‍යාණමිත්‍රතායෙහි සමාදන් කරවයි. යම් බඳු අන්‍ය කල්‍යාණමිත්‍ර භික්‍ෂුහු වෙත් නම් ඔවුන්ගේ ද ගුණය භූත කොට තථ්‍ය කොට නිසි කල්හි කියයි.
ශාරීපුත්‍රයෙනි, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙ පරිද්දෙන් විතර විසින් දතයුතු වේ ය යි.
7. 1. 4. 5.
[මිත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, සත් කරුණෙකින් සමන්‍වාගත මිත්‍ර සේවන කටයුත්තේ ය. කවර සතෙකින යත්:
දෙනුවට දුෂ්කර වූ දෑ දෙයි. දුෂ්කර දෑ කෙරෙයි. නො ඉවසිය හැකි දැ ඉවසයි. තමාගේ රහස් මිතුරුහට පාළ කරයි. ඒ මිතුරුහුගේ රහස් සඟවයි. ආපද්හි මිතුරා නො හරියි. ධනක්‍ෂීණයෙන් ඔහට අවමන් නො කෙරෙයි. මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මිත්‍ර සෙවිය යුත්තේ යි.
36. දීමට දුෂ්කර ධනය ද දෙයි. දුෂ්කර දෙය මිතුරුහට කෙරෙයි. වැලිත් ඔහුගේ දුරුක්ත වූ ඉවසිය නො හෙන බසුත් ඉවසයි.
37. ඔහට සිය රහස් ද කියයි. ඔහුගේ රහස් සඟවයි. විපත්හි දී නො හරියි. ක්‍ෂීණ (පිරිහිනු) හෙයින් අවමන් නො කෙරෙයි.
38. මෙ ලොව්හි යම් පුඟුලකු කෙරෙහි මෙ කරුණු විද්‍යමාන වෙත් ද, මිතුරන් පතනහු විසින් එබඳු එ මිතු තෙමේ භජනය කටයුතු වේ ය යි.
7. 1. 4. 6.
[භික්ඛුමිත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍රයා නෙරණුලබන්නහු විසිනුදු සෙවිය යුත්තේ ය, භජනය කළයුත්තේ ය, පර්‍ය්‍යුපාසන කටයුත්තේ ය. කවර සතෙකින යත්:
ප්‍රිය ද මනාප ද වෙයි. ගුරු ද වෙයි. බුහුමනට නිසි ද වෙයි. වක්තෘ ද වෙයි. වචනක්‍ෂම (ඇදැහිය හැකි වචන ඇත්තේ) ද වෙයි. ගම්භීරකථා කරන්නේ ද වෙයි. අස්ථානයෙහි (නොමඟ) ද නො යොදවයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත භික්‍ෂූමිත්‍ර නෙරණුලබන්නහු විසිනුදු සෙවියයුත්තේ ය, භජනය කටයුත්තේ ය, පර්‍ය්‍යුපාසනා කටයුත්තේ ය.