7. 1. 3. 11.
[උපාසක පරාභව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, උපාසකහට මෙ පරාභව සතෙකි ...
මහණෙනි, උපාසකහට මේ සම්භව සතකි. කවර සතෙක යත්:
භික්‍ෂුදර්‍ශනය නො පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණයට පමා නො වෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක භික්‍ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල වෙයි. උපාරම්භ සිත් නැති ව රන්‍ධ්‍රවෙෂි නො ව ධර්‍මය අසයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයන් නො සොයයි. මෙහි ම පූර්‍වාකාර කෙරෙයි.
මහණෙනි, උවසුහුගේ මේ සම්භව සත යි.
22. යම් උවසුවෙක් භාවිත සිත් ඇති මහණුන්ගේ දර්‍ශනය හා ආර්‍ය්‍යධර්‍මයන්ගේ ශ්‍රවණය පිරිහෙළා ද, අධිශීලයෙහි නො හික්මේ ද,
පරිහානීයධර්‍ම සේවන කරණ උපාසක තෙමේ සද්ධර්‍මයෙන් පිරිහේ ය යි ...
[29. මේ ස්වාඛ්‍යාත වූ සත් අපරිහානීය ධර්‍ම සේවනය කරණ උපාසක තෙම සද්ධර්‍මයෙන් නො පිරිහේ යයි.]
වජ්ජිසත්තක වර්‍ගය තුන්වැනි යි.
එහි උද්දානය:
සාරන්‍දද සූත්‍රය, වස්සකාර සූත්‍ර ය, භික්‍ෂු අපරිහානීය සූත්‍ර පස ය, සේඛ පරිහානි සූත්‍රය, උපාසක පරිහානි සූත්‍රය, විපත්ති සූත්‍රය, පරාභව සූත්‍රය දැයි එකොළොසෙකි.
4. දේවතා වර්‍ගය
7. 1. 4. 1.
[අප්පමාදගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. එකල එක්තරා දෙවියෙක් රෑ පළමු යම ඉක්මගිය කල්හි මනා වර්‍ණයෙන් යුක්තව මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා ය:
වහන්ස, මෙ ධර්‍මයෝ සත් දෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්. කවර සතෙක යත්:
ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇති බව, දහම්හි ගෞරව ඇති බව, සඟුන් කෙරෙහි ගෞරව ඇති බව, ශික්‍ෂාහි ගෞරව ඇති බව, සමාධියෙහි ගෞරව ඇති බව, අප්‍රමාදයෙහි ගෞරව ඇති බව, පටිසන්‍ථාරයෙහි ගෞරව ඇති බව ය. වහන්ස, මෙ සත් දහම්හු මහණහුගේ නො පිරිහීම පිණිස පවත්නාහ යී.
ඒ දේවතාවා මෙය කිවු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ අනුදත් සේක.
එක්බිති ඒ දේවි, මබස ශාස්තෘහු අනුදත්හයි බුදුන් වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ඇවෑමෙන් මහණුන් ඇමැතූ සේක: මහණෙනි, මෙ රාත්‍රියෙහි අභිකාන්තරාත්‍රියෙහි මනා සිරුරුපැහැයෙන් යුතු අන්‍යතර දෙවියෙක් හැම ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක්හි සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:
වහන්ස, මෙ සත් කරුණුහු භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්. කවර සතෙක යත්:
සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සමාධිගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සත්දහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙන්නාහ යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
30. ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇතියේ ධර්‍මය කෙරෙහි ගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දු තීව්‍රගෞරව ඇතියේ සමාධියෙහි ගෞරව ඇතියේ කෙලෙස් තවන වැර ඇතියේ ශික්‍ෂායෙහි තීව්‍රගෞරව ඇතියේ,
31. අප්‍රමාදයෙහි ගෞරව ඇතියේ පිළිසඳරෙහි ගෞරව ඇතියේ පරිහානියට අභව්‍ය වෙයි. එබඳු මහණ නිවන් හමුයෙහි ම වේ ය යි.