7. 1. 2. 8.
[අනත්තානුපස්සී සූත්රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, ආහුනනාර්හ වූ ... ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සර්වධර්මයන්හි අනාත්මානුදර්ශී වූයේ වෙසෙයි ... මහණෙනි, ආහුනනාර්හ වූ ... ලොවට (අනුත්තරපුණ්යක්ෂේත්ර වූ) මේ සත් පුඟුල්හු වෙති.
7. 1. 2. 9.
[සුඛානුපස්සී සූත්රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, ආහුනනාර්හ වූ ... ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවනෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්රතිසංවිද් ඇතියේ හැම කල්හි නිරතුරු ව්යතිමිශ්ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හේ ආස්රවක්ෂයෙන් අනාස්රව වූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්රඥාව ... සාක්ෂාත් කොට එළඹ වෙසෙයි. මහණෙනි, ආහුනනාර්හ වූ ... ලොවට (පුණ්යක්ෂේත්ර වූ) මේ ප්රථම පුද්ගල යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිර්වාණයෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්රතිසංවිද් ඇතියේ හැමවිට නරතුරු අසම්මිශ්ර කොට සිතින් අධිමෝක්ෂ කරණුයේ ප්රඥායෙන් පර්ය්යවගාහ කරනුයේ වෙසෙයි. ඔහට නො පෙරපසු ව ආස්රවපරික්ෂය ද ජීවිතපරික්ෂය ද වෙයි. මහණෙනි, ආහුනනාර්හ වූ ... ලොවට (පුණ්යක්ෂේත්ර වූ) මේ ද්විතීය පුද්ගල යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවන්හි සුව අනුව දක්මින් සුඛසංඥා ඇතියේ සුව පිළිවිදිනාසුලු වූයේ හැමකල් නරතුරු ව්යතිමිශ්ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් අන්තරා පරිනිබ්බායී වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි ... අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... අකනිට්ඨාගාමීඋද්ධංසෝත වෙයි. මහණෙනි, මේ ආහුනෙය්ය වූ .... ලොවට (පුණ්යක්ෂේත්ර වූ) සප්තම පුද්ගල යි.
මහණෙනි, ආහුනෙය්ය වූ පාහුනෙය්ය වූ දක්ෂිණෙය්ය වූ අඤ්ජලිකරණීය වූ ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර වූ මෙ සත් පුඟුල් හු යි.
7. 1. 2. 10.
[නිද්දසවත්ථු සූත්රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, මෙ නිර්දශවස්තු සතෙකි. කවර සතෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශික්ෂාසමාදානයෙහි තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු ශික්ෂාසමාදානයෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. ධම්මනිසන්තියෙහි (විදර්ශනායෙහි) තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු ධම්මනිසන්තියෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. ඉච්ඡාවිනයෙහි (තෘෂ්ණාවිනයෙහි) තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු ඉච්ඡාවිනයෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. පිළිසලනෙහි (ඒකීභාවයෙහි) තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු පිළිසලනෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. වීර්ය්යාරම්භයෙහි තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු වීර්ය්යාරම්භයෙහි අවිගතප්රේම ඇතියේ වෙයි. ස්මෘති නිපකභාවයෙහි (සිහි හා ස්ථානෝචිත ප්රඥාහි) තීව්ර ඡන්ද ඇතියේ මතුයෙහි දු ස්මෘති නිපකභාවයෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. (මාර්ගදර්ශනසඞ්ඛ්යාත) දෘෂ්ටිප්රතිවේධයෙහි තීව්ර ඡන්ද ඇතියේ මතුයෙහි දු දෘෂ්ටිප්රතිවේධයෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි.
මහණෙනි, මෙ නිර්දශවස්තු (රහතුන් පිළිබඳ “දසවස්හි පිරිනිවියහු නැවත දසවස් නොවෙති” ආදි කථා කරුණු) සත යි.
(සූත්රයෙහි අදහස අර්ත්ථකථාවෙන් දතයුතු.)
අනුශයවර්ගය දෙවෙනි යි.
එහි උද්දානය:
අනුසය සූත්ර දෙක ය, කුලසූත්රය, පුග්ගලසූත්රය, උදකකූපමසූත්ර ය, අනිච්චසූත්ර ය, දුක්ඛසූත්ර ය, අනත්තසූත්ර ය, සුඛසූත්ර ය, නිද්දසවත්ථුසූත්ර ය දැයි දසයෙකි.