7. 1. 2. 6.
[අනිච්චානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණයට නිසි වූ ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
(1) සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවේද ඇතියේ, හැම කල්හි (පූර්‍වාපර සමූපගත සිත් ඇතියේ) නිරතුරු (අන් සිතකින්) නො මුසු සේ සිතින් සනිටුහන් කරනුයේ, විවසුන් නැණින් පර්‍ය්‍යවගාහ කරමින් (බැස ගණිමින්) වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් ... (ආස්‍රව රහිත චේතෝවිමුත්ති - පඤ්ඤාවිමුත්ති) සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කෙරෙයි. මහණෙනි, මෙ ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍ශ වූ අඤ්ජලිකරණයට යෝග්‍ය වූ ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ ප්‍රථම පුද්ගල යි.
(2) තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවිද් ඇතියේ, හැමකල් නිරතුරු අමිශ්‍ර සේ සිතින් සනිටුහන් කරණුයේ, ප්‍රඥායෙන් පර්‍ය්‍යාවගාහ කරණුයේ වාසය කෙරෙයි. ඔහට නො පෙර පසුව ආස්‍රවසිඳීයෑම ද ජීවිතය සිඳීයෑම ද වෙයි. මහණෙනි, මෙ ආහුනනාර්‍හ වූ ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ ද්විතීය (ජීවිත සමසීසී) පුද්ගල යි.
(3) තවද මහණෙනි, මෙලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවිද් ඇතියේ හැමවිට නිරතුරු අසම්මිශ්‍ර කොට සිතින් අධිමෝක්‍ෂ කරමින්, ප්‍රඥායෙන් පර්‍ය්‍යවගාහ කරමින් වෙසේ. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරාපරිනිබ්බායී (ශුද්ධාවාසයෙහි උපන් කෙණෙහි හෝ මදක් පසුව පිරිනිවෙන්නේ) වෙයි. (4) ... උපහච්චපරිනිබ්බායී (ආයු මැද පිරිනිවෙන්නේ) වෙයි. (5) ... අසඞ්ඛාරපරිනිබ්බායී (උත්සාහ රහිතව පිරිනිවෙන්නේ) වෙයි. (6) … සසඞ්ඛාරපරිනිබ්බායී (උත්සාහ සහිතව පිරිනිවෙන්නේ) වෙයි. (7) … අකනිට්ඨාගාමී උද්ධංසෝත (අකනිටාබඹලෝතෙක් යන සුලුව පිරිනිවෙන්නේ) වෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණීය වූ ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත්වන පුද්ගල යි.
මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත්පුඟුල්හු වෙති.
7. 1. 2. 7.
[දුක්ඛානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි දුඃඛානුදර්ශී වූයේ වෙසෙයි ... මහණෙනි, ආහුනනාර්‍හ වූ .... ලොවට (අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ පුඟුල්හු සත් දෙන වෙත්.
7. 1. 2. 8.
[අනත්තානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සර්‍වධර්‍මයන්හි අනාත්මානුදර්ශී වූයේ වෙසෙයි ... මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ සත් පුඟුල්හු වෙති.
7. 1. 2. 9.
[සුඛානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවනෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්‍රතිසංවිද් ඇතියේ හැම කල්හි නිරතුරු ව්‍යතිමිශ්‍ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵල සමාධිය හා අර්‍හත්ඵල ප්‍රඥාව ... සාක්‍ෂාත් කොට එළඹ වෙසෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ ප්‍රථම පුද්ගල යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිර්‍වාණයෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්‍රතිසංවිද් ඇතියේ හැමවිට නරතුරු අසම්මිශ්‍ර කොට සිතින් අධිමෝක්‍ෂ කරණුයේ ප්‍රඥායෙන් පර්‍ය්‍යවගාහ කරනුයේ වෙසෙයි. ඔහට නො පෙරපසු ව ආස්‍රවපරික්‍ෂය ද ජීවිතපරික්‍ෂය ද වෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ ද්විතීය පුද්ගල යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවන්හි සුව අනුව දක්මින් සුඛසංඥා ඇතියේ සුව පිළිවිදිනාසුලු වූයේ හැමකල් නරතුරු ව්‍යතිමිශ්‍ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරා පරිනිබ්බායී වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි ... අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... අකනිට්ඨාගාමීඋද්ධංසෝත වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ .... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) සප්තම පුද්ගල යි.
මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්‍ෂිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත් පුඟුල් හු යි.