7. 1. 2. 2.
[අනුසයප්පහාන සූත්රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, සප්තානුශයන්ගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේය යත්:
කාමරාගනුසයාගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්රම්සර වසනු ලැබේ. පටිඝානුසයයාගේ ... දිට්ඨානුසයයාගේ ... විචිකිච්ඡානුසයයාගේ ... මානානුසයයාගේ ... භවරාගානුසයයාගේ ... අවිජ්ජානුසයයාගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්රහ්මචර්ය්යය වසනු ලැබේ.
මහණෙනි, මෙ සප්තානුශයයන්ගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්රහ්මචර්ය්යය වසනු ලැබේ.
මහණෙනි, යම් හෙයෙකින් භික්ෂුහුගේ කාමරාගානුසය ප්රහීණ වේ නම් උසුන්මුල් ඇති වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, අන්වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නම්, ප්රතිඝානුශය ... දෘෂ්ටානුශය ... විචිකිත්සානුශය .. මානානුශය ... භවරාගානුශය ... අවිද්යානුශය ප්රහීණ වේ නම් උසුන්මුල් ඇතියේ වේ නම් තාලාවස්තුකෘත වේ නම් අන්වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, මහණෙනි, අනුශය රහිත මහණ තෘෂ්ණාව සිඳලීය සංයෝජන පෙරළාලී ය මැනැවින් අර්හත්ත්වාවබෝධයෙන් වර්තදුඃඛය අවසන් කෙළේ යයි කියනු ලැබේ.
7. 1. 2. 3.
[කුලූපගමන සූත්රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, අඞ්ග සතෙකින් සමන්වාගත කුලයට පළමු නො එළැඹ එළඹෙන්නට වේවයි එළැඹ හිඳිනට වේවයි නො නිසි වේ. කවර සතෙකින යත්:
මනාපාකාරයෙන් දැක හුනස්නෙන් නො නැඟ සිටුනාහ. මනාප අයුරින් අභිවාදන නො කරත්. මනාපයෙන් හිඳිනට ආසන නො දෙන්නාහ. විද්යමාන දේයධර්මය ඔහට පිළිසන් කරන්නාහ. බොහෝ ඇත ද ස්වල්ප විසින් දෙත්. ප්රණීත දෑ ඇත ද රූක්ෂ දෑ දෙන්නාහ. සකසා නො ව නො සකසා ම දෙන්නාහ.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ, එළැඹ හිඳිනට හෝ නො නිසි වේ.
මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ එළැඹ හිඳිනට හෝ නිසි වේ. කවර සත් කරුණෙකින යත්:
මනාපාකාරයෙන් දැක හුනස්නෙන් නැඟ සිටුනාහ. මනාප අයුරින් වන්දනා කරන්නාහ. මැනැවින් හිඳිනට අසුන් දෙන්නාහ. විද්යමාන දේයධර්මය ඔහට පිළිසන් නො කරන්නාහ. බොහෝ ඇති වත් ම බොහෝ කොට දෙන්නාහ. ප්රණීත වස්තු ප්රණීත කොට ම දෙන්නාහ. නො සකස් කොට නො ව, සකස් කොට ම දෙන්නාහ.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ එළැඹ හිඳිනට හෝ නිසි වේ යයි.
7. 1. 2. 4.
[ආහුනෙය්ය පුග්ගල සූත්රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, ආහුනෙය්ය වූ පාහුනෙය්ය වූ දක්ඛිණෙය්ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයාහට අනුත්තර පුණ්යක්ෂේත්ර වූ මෙ පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
උභතෝභාග විමුක්ත ය, ප්රඥා විමුක්ත ය, කායසාක්ෂි ය, දෘෂ්ටප්රාප්ත ය, ශ්රද්ධාවිමුක්ත ය, ධර්මානුසාරී ය, ශ්රද්ධානුසාරී ය යි.
මහණෙනි, ආහුනනාර්හ වූ ප්රාඝුණාර්හ වූ දක්ෂිණාර්හ වූ අඤ්ජලිකරණයට නිසි වූ ලෝකයාට අනුත්තරපුණ්යක්ෂේත්ර වූ මෙ සත් පුඟුල්හු යි.
(අර්ත්ථකථාවෙන් හා විශුද්ධිමාර්ගයෙන් විස්තර දත යුතු.)
7. 1. 2. 5.
[උදකූපම පුග්ගල සූත්රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, ලෝකයෙහි විද්යමාන වන්නා වූ ම මෙ උදකෝපම පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ (කිඳුනේ) නිමග්න (කිඳුනේ) ම වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල සිටියේ (මතුවූයේ) වෙයි. මහණෙනි, මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල වටා බලයි, අනුවිලෝකන කරයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල යායුතු මංබලා තරණය කෙරෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල ප්රතිගාධයට (ප්රතිෂ්ඨාවට) පැමිණියේ වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල තරණය කෙළේ පරතෙර පැමිණ බ්රාහ්මණ වූයේ තලයෙහි (නිවනෙහි) සිටුනේ වෙයි.
(1) මහණෙනි, පුද්ගල එක් වරක් නිමග්න වූයේ කෙසේ නිමග්න ම වේ ය යත්: මහණෙනි, මෙ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්මයෙන් (නියත මිථ්යාදෘෂ්ටියෙන්) සමන්වාගත වෙයි. මහණෙනි, මෙසෙයින් පුද්ගල වරක් නිමග්න වූයේ නිමග්න ම වෙයි.