7. 1. 2. 10.
[නිද්දසවත්ථු සූත්රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, මෙ නිර්දශවස්තු සතෙකි. කවර සතෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශික්ෂාසමාදානයෙහි තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු ශික්ෂාසමාදානයෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. ධම්මනිසන්තියෙහි (විදර්ශනායෙහි) තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු ධම්මනිසන්තියෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. ඉච්ඡාවිනයෙහි (තෘෂ්ණාවිනයෙහි) තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු ඉච්ඡාවිනයෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. පිළිසලනෙහි (ඒකීභාවයෙහි) තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු පිළිසලනෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. වීර්ය්යාරම්භයෙහි තීව්ර ඡන්ද ඇතියේ මත්තෙහි දු වීර්ය්යාරම්භයෙහි අවිගතප්රේම ඇතියේ වෙයි. ස්මෘති නිපකභාවයෙහි (සිහි හා ස්ථානෝචිත ප්රඥාහි) තීව්ර ඡන්ද ඇතියේ මතුයෙහි දු ස්මෘති නිපකභාවයෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි. (මාර්ගදර්ශනසඞ්ඛ්යාත) දෘෂ්ටිප්රතිවේධයෙහි තීව්ර ඡන්ද ඇතියේ මතුයෙහි දු දෘෂ්ටිප්රතිවේධයෙහි අවිගත ප්රේම ඇතියේ වෙයි.
මහණෙනි, මෙ නිර්දශවස්තු (රහතුන් පිළිබඳ “දසවස්හි පිරිනිවියහු නැවත දසවස් නොවෙති” ආදි කථා කරුණු) සත යි.
(සූත්රයෙහි අදහස අර්ත්ථකථාවෙන් දතයුතු.)
අනුශයවර්ගය දෙවෙනි යි.
එහි උද්දානය:
අනුසය සූත්ර දෙක ය, කුලසූත්රය, පුග්ගලසූත්රය, උදකකූපමසූත්ර ය, අනිච්චසූත්ර ය, දුක්ඛසූත්ර ය, අනත්තසූත්ර ය, සුඛසූත්ර ය, නිද්දසවත්ථුසූත්ර ය දැයි දසයෙකි.
3. වජ්ජිසත්තක වර්ගය
7. 1. 3. 1.
[සාරන්දද සූත්රය]
21. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වේසාලී නගරයෙහි සාරන්දද චේතිය වෙහෙරෙහි වැඩ වසනසේක.
එක්බිති බොහෝ ලිච්ඡවීහු භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්යවතුන් වහන්සේ තෙල කරුණු වදාළහ:
“ලිච්ඡවියෙනි, තොපට සප්තඅපරිහානීය ධර්මයන් දෙසමි. එ අසවු. මනාකොට මෙනෙහි කරවු. කියමි”යි. ‘එසේ ය වහන්සැ’යි ඒ ලිච්ඡවීහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක.
ලිච්ඡවියෙනි, අපරිහානීයධර්ම සත කවර යත්:
(1) ලිච්ඡවියෙනි, ව්රජීහු යම්තාක්කල් නිතර රැස්වන්නාහු රැස්වීම් බහුල කොට ඇත්තාහු නම්, ලිච්ඡවියෙනි, ව්රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(2) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීහු සමඟ ව රැස් වෙත් නම්, සමඟ ව නැඟ සිටුනාහු නම්, සමඟ ව ව්රජීනට අයත් කරණී කෙරෙත් නම්, ලිච්ඡවියෙනි, ව්රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(3) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීහු අප්රඥප්තයන් (පෙර රජුන් විසින් නො පනවන ලද ව්යවස්ථා) නො පණවත් නම්, ප්රඥප්තය (පැණවූ ව්යවස්ථා) නො සිඳලත් නම්, යථාප්රඥප්ත වූ පැරණි ව්රජීධර්මයෙහි සමාදන් කොට ගෙන වැටෙත් නම්, ලිච්ඡවියෙනි, ව්රජිනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
(4) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීහු යම් බඳු මහලු ව්රජීහු වෙත් නම්, ඔවුනට සත්කාර කරන්නාහු, ගරුකරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු නම්, ඔවුන්ගේ ද අවවාද කථා ඇසියයුතු කොට හඟනාහු නම්, ලිච්ඡවියෙනි, ව්රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
(5) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීහු යම් බඳු කුලස්ත්රීහු කුලකුමාරීහු වෙත් නම්, ඔවුන් හැදගෙණ බලාත්කාරයෙන් මැඩගෙණ නො වස්වන්නාහු නම් ලිච්ඡවියෙනි, ව්රජීන්හට වෘද්ධියම මුත් පරිහානියෙක් නො කැමති වියයුතු.
(6) ලිච්ඡවියෙනි, යම් තාක් කල් වැදෑරට වැසියෝ ව්රජින්ගේ ඇතුළුනුවර පිහිටි හෝ බිහිනුවර පිහිටි හෝ යම් බඳු ව්රජිචෛත්යස්ථානයෝ වෙත් නම්, එ හැමට සත්කාරකරන්නාහු, ගරු කරන්නාහු, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, ඔවුනට (රජමහ ඇමති ආදීන් විසින්) දුන්විරූ, කළවිරූ දැහැමි බලි නො පිරිහෙළන්නාහු නම්, ලිච්ඡවියෙනි, ව්රජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.