7. 1. 1. 7.
[උග්ග මහාමත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
7. එකල්හි උග්ග නම් රාජමහාමාත්ර භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් උග්ග රාජමහාමාත්ර භාග්යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
වහන්ස, ආශ්චර්ය්ය ය, වහන්ස, අද්භූත ය. වහන්ස, මෙ රෝහණ සිටුහුගේ මුනුපුරු මිගාර සිටු ආඪ්ය වූයේ ම, මහාධන ඇතියේ ම, මහාභෝග ඇතියේ ම වේ යයි.
උග්ගයෙනි, රෝහණෙය්ය මිගාර සිටු කෙතෙක් ආඪ්ය වේ ද? කෙතෙක් මහද්ධන වේ ද, කෙතෙක් මහාභෝග වේ දැ යි.
වහන්ස, හිරණ්ය පිළිබඳ ශතසහස්රයෙකි. රජත පිළිබඳ කවර කථායෙක් දැ යි.
උග්ගයෙනි, තෙල ධනය ඇත් මැයි, තෙල ධන නැතැයි නො කියමි. උග්ගයෙනි, තෙල ධනය ගිනි හා දිය හා රජුන් හා සොරුන් හා අප්රිය දායාදයන් හා සාධාරණ මැයි.
උග්ගයෙනි, ගින්න හා දිය හා රජුන් හා සොරුන් හා අප්රිය දායාදයන් හා අසාධාරණ වූ මෙ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධන, සීලධන, හිරිධන, ඔත්තප්පධන, සුතධන, චාගධන, පඤ්ඤාධන යි. උග්ගයෙනි, ගින්න හා දිය හා රජුන් හා සොරුන් හා අප්රිය දායාදයන් හා අසාධාරණ වූ මෙ ධන සත යි.
11. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන ය යි ධන සතෙකි.
12. යම් ස්ත්රියකට වේවයි පුරුෂයකුට වේවයි මෙ ධන ඇත් නම් හෙ එකැතින් දෙවිමිනිසුන්ගෙන් යුත් ලෙව්හි මහද්ධන වෙයි.
13. එහෙයින් මේධාවී තෙම බුද්ධශාසනය සිහිකරමින් ශ්රද්ධා ශීල ප්රසාද ධර්මදර්ශන යන මෙහි යෙදෙන්නේ යි.
7. 1. 1. 8.
[සත්තසඤ්ඤෝජන සූත්රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, මෙ සංයෝජන සතෙකි. කවර සතෙක යත්:
අනුනය (කාමරාග) සංයෝජන, පටිඝසංයෝජන, දිට්ඨි සංයෝජන, විචිකිච්ඡාසංයෝජන, මානසංයෝජන, භවරාගසංයෝජන, අවිජ්ජාසංයෝජන යි.
මහණෙනි, මෙ සංයෝජන සත යි.
7. 1. 1. 9.
[සඤ්ඤෝජනප්පහාන සූත්රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, සංයෝජන සතක්හුගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේ ය යත්:
අනුනය සංයෝජනයාගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. ප්රතිඝසංයෝජනයාගේ ප්රහාණය සඳහා ... දෘෂ්ටිසංයෝජනයාගේ ... විචිකිච්ඡාසංයෝජනයාගේ … මානසංයෝජනයාගේ … භවරාගසංයෝජනයාගේ ... අවිද්යාසංයෝජනයාගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්රම්සර වැසේ.
මහණෙනි, මෙ සංයෝජන සත ප්රහාණය කරණු සඳහා සමුච්ඡේදය සඳහා බ්රහ්මචර්ය්යය වසනු ලැබේ.
මහණෙනි, යම්හෙයකින් භික්ෂුහුගේ අනුනය සංයෝජනය ප්රහීණ වේ ද, උසුන්මුල් ඇතියේ වේ ද, තාලාවස්තුකෘත ද, අන්වභාවකෘත ද, මත්තෙහි නූපදනා සැහැවි ඇතියේ ද ... ප්රතිඝසංයෝජනය ... දෘෂ්ටිසංයෝජනය ... විචිකිත්සාසංයෝජනය ... මානසංයෝජනය ... භවරාගසංයෝජනය ... අවිද්යාසංයෝජන ය ප්රහීණ ද උසුන්මුල් ඇතියේ ද, තාලාවස්තුකෘත ද, අන්වභාවකෘත ද, මත්තෙහි නූපදනා සැහැවි ඇතියේ ද, මහණෙනි, එහෙයින් මේ මහණ තෘෂ්ණාව සිඳලී යයි ද, සංයෝජන පෙරළාලී යයි ද, මොනොවට මානප්රහාණයෙන් සසරදුක් අවසන් කෙළේ ය යි ද කියනු ලැබේ.
7. 1. 1. 10.
[මච්ඡරියසංයෝජන සූත්රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මෙ සංයෝජන සතෙකි. කවර සතෙක යත්:
අනුනයසංයෝජන ය, පටිඝසංයෝජන ය, දිට්ඨිසංයොජන ය, විචිකිච්ඡාසංයෝජන ය, මානසංයෝජන ය, ඉස්සාසංයොජන ය, මච්ඡරියසංයෝජන යි.
මහණෙනි, මෙ සත් සංයෝජන යි.
ධන වර්ගය පළමු වැනි යි.
එහි උද්දානය:
පිය සූත්ර දෙක ය, බල සූත්ර දෙක ය, සඞ්ඛිත්තධන සූත්රය, විත්ථතධන සූත්රය, උග්ග සූත්ර ය, සඤ්ඤෝජන සූත්ර ය, සඤ්ඤොජනප්පහාණ සූත්ර ය, මච්ඡරියසඤ්ඤෝජන සූත්ර ය දැයි දසයෙකි.