7. 1. 1. 10.
[මච්ඡරියසංයෝජන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මෙ සංයෝජන සතෙකි. කවර සතෙක යත්:
අනුනයසංයෝජන ය, පටිඝසංයෝජන ය, දිට්ඨිසංයොජන ය, විචිකිච්ඡාසංයෝජන ය, මානසංයෝජන ය, ඉස්සාසංයොජන ය, මච්ඡරියසංයෝජන යි.
මහණෙනි, මෙ සත් සංයෝජන යි.
ධන වර්‍ගය පළමු වැනි යි.
එහි උද්දානය:
පිය සූත්‍ර දෙක ය, බල සූත්‍ර දෙක ය, සඞ්ඛිත්තධන සූත්‍රය, විත්‍ථතධන සූත්‍රය, උග්ග සූත්‍ර ය, සඤ්ඤෝජන සූත්‍ර ය, සඤ්ඤොජනප්පහාණ සූත්‍ර ය, මච්ඡරියසඤ්ඤෝජන සූත්‍ර ය දැයි දසයෙකි.
2. අනුසය වර්‍ගය
7. 1. 2. 1.
[අනුසය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මෙ අනුශය සතෙකි. කවර සතෙක යත්:
කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යි.
මහණෙනි, මෙ අනුසය සත යි.
7. 1. 2. 2.
[අනුසයප්පහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, සප්තානුශයන්ගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේය යත්:
කාමරාගනුසයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රම්සර වසනු ලැබේ. පටිඝානුසයයාගේ ... දිට්ඨානුසයයාගේ ... විචිකිච්ඡානුසයයාගේ ... මානානුසයයාගේ ... භවරාගානුසයයාගේ ... අවිජ්ජානුසයයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
මහණෙනි, මෙ සප්තානුශයයන්ගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
මහණෙනි, යම් හෙයෙකින් භික්‍ෂුහුගේ කාමරාගානුසය ප්‍රහීණ වේ නම් උසුන්මුල් ඇති වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, අන්‍වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නම්, ප්‍රතිඝානුශය ... දෘෂ්ටානුශය ... විචිකිත්සානුශය .. මානානුශය ... භවරාගානුශය ... අවිද්‍යානුශය ප්‍රහීණ වේ නම් උසුන්මුල් ඇතියේ වේ නම් තාලාවස්තුකෘත වේ නම් අන්‍වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, මහණෙනි, අනුශය රහිත මහණ තෘෂ්ණාව සිඳලීය සංයෝජන පෙරළාලී ය මැනැවින් අර්‍හත්ත්‍වාවබෝධයෙන් වර්‍තදුඃඛය අවසන් කෙළේ යයි කියනු ලැබේ.
7. 1. 2. 3.
[කුලූපගමන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, අඞ්ග සතෙකින් සමන්‍වාගත කුලයට පළමු නො එළැඹ එළඹෙන්නට වේවයි එළැඹ හිඳිනට වේවයි නො නිසි වේ. කවර සතෙකින යත්:
මනාපාකාරයෙන් දැක හුනස්නෙන් නො නැඟ සිටුනාහ. මනාප අයුරින් අභිවාදන නො කරත්. මනාපයෙන් හිඳිනට ආසන නො දෙන්නාහ. විද්‍යමාන දේයධර්‍මය ඔහට පිළිසන් කරන්නාහ. බොහෝ ඇත ද ස්වල්ප විසින් දෙත්. ප්‍රණීත දෑ ඇත ද රූක්‍ෂ දෑ දෙන්නාහ. සකසා නො ව නො සකසා ම දෙන්නාහ.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ, එළැඹ හිඳිනට හෝ නො නිසි වේ.