6. 2. 5. 7.
[අනවත්‍ථිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, අනුසස් සයක් මොනොවට දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා (කොටස්) රහිත කොට අනිත්‍යසංඥාව සිත්හි එළවා ගන්නට නිසි වේ මැ යි. කවර සයෙක යත්:
හැම සංස්කාරයෝ අනවස්ථිත (ස්ථාන භේද රහිත ව බිඳෙනසුලු) සෙයින් මට වැටහෙත්, (ස්කන්‍ධ සඞ්ඛ්‍යාත) හැම ලොව්හිදු මාගේ සිත නො ඇලෙන්නේ ය, මාගේ සිත සකල ත්‍රෛධාතුක ලෝකයෙන් ද නැඟ සිටුනේ ය, මාගේ චිත්තය නිර්‍වාණයට නැඹුරු වන්නේ ය, මාගේ සංයෝජනයෝ ද ප්‍රහාණයට යන්නාහ, උත්තම ශ්‍රමණභාවයෙන් (ආර්‍ය මාර්‍ගයෙන්) සමන්‍වාගත ද වන්නේ ය.
මහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් හැම සංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට අනිත්‍යසංඥාව එළවන්නට සුදුසු ය යි.
6. 2. 5. 8.
[උක්ඛිත්තාසික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, අනුසස් සයක් මැනවින් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට දුඃඛසංඥාව එළවන්නට නිසි මැ යි. කවර සයෙක යත්:
ඔසොවාගත් අසිපත් ඇති වධකයා කෙරෙහි මෙන් සර්‍වසංස්කාරයන්හිදු මගේ නිර්වේදසංඥාව එළඹ සිටියේ වෙයි, සකල ත්‍රෛධාතුක ලෝකයෙන් මාගේ සිත ද නැඟ සිටුනේ ය, නිර්‍වාණයෙහි මැ ශාන්තභාවය දක්නෙම් වන්නෙමි, මාගේ අනුශයයෝ ද මුලුසුන් බවට යෙති, සිවුමඟ කරණී කරණ සුලු වන්නෙමි, ශාස්තෘහු ද මා විසින් මෙත්සහගිය පරිචරණයෙන් (වතින්) අරියනලද්දාහු වෙති යි.
මහණෙනි, මෙ අනුසස් සය දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි කොටස් නො බෙදා දුඃඛසංඥාව එළවන්නට වටනේ ය යි.
6. 2. 5. 9.
[අතම්මය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, අනුසස් සයක් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට අනාත්මසංඥාව එළවන්නට වටනේ ය. කවර සයෙකින යත්:
සව්ලෝහිදු (තණ්හා-දිට්ඨි සඞ්ඛ්‍යාත) තම්මය නැතියෙම් වන්නෙමි. මගේ (මාන සඞ්ඛ්‍යාත) අහඞ්කාරදෘෂ්ටීහු ද උපරෝධයට (ආවරණයට) යන්නාහ. මාගේ මමඞ්කාර සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෝ ද උපරුද්ධ වන්නාහ. අසාධාරණ වූ (පුහුදුන් හා සාධාරණ නො වූ) ඥානයෙනුදු සමන්‍වාගත වන්නෙමි. හේතුව ද මා විසින් මොනොවට දක්නා ලද වෙයි. හේතුයෙන් උපන් ඵලධර්‍මයෝ ද මොනොවට දක්නාලදහු වෙති.
මහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයෙහි සීමා නො කොට අනාත්මසංඥාව එළවන්නට නිසි වේ ය යි.
6. 2. 5. 10.
[භව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
51. මහණෙනි, මෙ භවයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍ය වෙත්. ශික්‍ෂාතුණෙක්හි හික්මිය යුතු වෙයි.
කවර තුන් භවයෝ පැහිය යුතු වෙත් යැ යත්:
කාමභවය, රූපභවය, අරූපභවය යි. මේ තුන් භවයෝ පැහිය යුතු වෙත්.
කවර ශික්‍ෂාත්‍රයක හික්මිය යුතු ද යත්:
අධිශීලශික්‍ෂායෙහි ය, අධිචිත්තශික්‍ෂායෙහි ය, අධිප්‍රඥාශික්‍ෂායෙහි යි. මෙ ශික්‍ෂාත්‍රයහි හික්මිය යුතු යි.