6. 2. 5. 8.
[උක්ඛිත්තාසික සූත්රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, අනුසස් සයක් මැනවින් දක්නා මහණහු විසින් සර්වසංස්කාරයන්හි මර්ය්යාදා රහිත කොට දුඃඛසංඥාව එළවන්නට නිසි මැ යි. කවර සයෙක යත්:
ඔසොවාගත් අසිපත් ඇති වධකයා කෙරෙහි මෙන් සර්වසංස්කාරයන්හිදු මගේ නිර්වේදසංඥාව එළඹ සිටියේ වෙයි, සකල ත්රෛධාතුක ලෝකයෙන් මාගේ සිත ද නැඟ සිටුනේ ය, නිර්වාණයෙහි මැ ශාන්තභාවය දක්නෙම් වන්නෙමි, මාගේ අනුශයයෝ ද මුලුසුන් බවට යෙති, සිවුමඟ කරණී කරණ සුලු වන්නෙමි, ශාස්තෘහු ද මා විසින් මෙත්සහගිය පරිචරණයෙන් (වතින්) අරියනලද්දාහු වෙති යි.
මහණෙනි, මෙ අනුසස් සය දක්නා මහණහු විසින් සර්වසංස්කාරයන්හි කොටස් නො බෙදා දුඃඛසංඥාව එළවන්නට වටනේ ය යි.
6. 2. 5. 9.
[අතම්මය සූත්රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, අනුසස් සයක් දක්නා මහණහු විසින් සර්වසංස්කාරයන්හි මර්ය්යාදා රහිත කොට අනාත්මසංඥාව එළවන්නට වටනේ ය. කවර සයෙකින යත්:
සව්ලෝහිදු (තණ්හා-දිට්ඨි සඞ්ඛ්යාත) තම්මය නැතියෙම් වන්නෙමි. මගේ (මාන සඞ්ඛ්යාත) අහඞ්කාරදෘෂ්ටීහු ද උපරෝධයට (ආවරණයට) යන්නාහ. මාගේ මමඞ්කාර සඞ්ඛ්යාත තෘෂ්ණාවෝ ද උපරුද්ධ වන්නාහ. අසාධාරණ වූ (පුහුදුන් හා සාධාරණ නො වූ) ඥානයෙනුදු සමන්වාගත වන්නෙමි. හේතුව ද මා විසින් මොනොවට දක්නා ලද වෙයි. හේතුයෙන් උපන් ඵලධර්මයෝ ද මොනොවට දක්නාලදහු වෙති.
මහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් සර්වසංස්කාරයෙහි සීමා නො කොට අනාත්මසංඥාව එළවන්නට නිසි වේ ය යි.
6. 2. 5. 10.
[භව සූත්රය]
[සැවැත්නිදාන යි]
51. මහණෙනි, මෙ භවයෝ තිදෙනෙක් ප්රහාතව්ය වෙත්. ශික්ෂාතුණෙක්හි හික්මිය යුතු වෙයි.
කවර තුන් භවයෝ පැහිය යුතු වෙත් යැ යත්:
කාමභවය, රූපභවය, අරූපභවය යි. මේ තුන් භවයෝ පැහිය යුතු වෙත්.
කවර ශික්ෂාත්රයක හික්මිය යුතු ද යත්:
අධිශීලශික්ෂායෙහි ය, අධිචිත්තශික්ෂායෙහි ය, අධිප්රඥාශික්ෂායෙහි යි. මෙ ශික්ෂාත්රයහි හික්මිය යුතු යි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ මෙ තුන් භවයෝ ප්රහීණ වෙත් නම්, (මහණ) මෙ තුන් ශික්ෂායෙහි ශික්ෂිතශික්ෂ වේ නම්, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණා සිඳී ය, සංයෝජන උපුටා හළේ ය, මනාකොට මානප්රහාණයෙන් (අර්හත්වාවබෝධයෙන්) වෘත්තදුඃඛය අන්ත කෙළේ ය යි කියනු ලැබේ.
6. 2. 5. 11.
[තණ්හා සූත්රය]
[සැවැත්නිදාන යි]
52. මහණෙනි, මෙ තෘෂ්ණාවෝ තිදෙනෙක් ද මානයෝ තිදෙනෙක් ද ප්රහාතව්ය වෙත්.
කවර තෘෂ්ණාවෝ තිදෙනෙක් ප්රහාතව්යයෝ වෙති යත්:
කාමතෘෂ්ණා ය, භවතෘෂ්ණා ය, විභවතෘෂ්ණා යි. මෙ තුන්තෘෂ්ණාවෝ පැහිය යුතු වෙත්.
කවර මානයෝ තිදෙනෙක් ප්රහාතව්ය වෙති යත්:
මාන ය, අවමාන ය, අතිමාන යි. මෙ තුන් මානයෝ ප්රහාතව්ය වෙත්.
මහණෙනි, යම් කලෙක භික්ෂූහුගේ මෙ තෘෂ්ණාවෝ තුන්දෙන ප්රහීණ වෙත් ද, මෙ මානයෝ තුන්දෙන ප්රහීණ වෙත් ද, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණාව සිඳලී ය, සංයෝජන උපුළේ ය, මනා කොට මානාභිසමයෙන් (අර්හත්ත්වාවබෝධයෙන්) වෘත්තදුඃඛය කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.
ආනිසංසවර්ගය පස්වැනි යි.
එහි උද්දානය:
පාතුභාව සූත්රය, ආනිසංස සූත්රය, අනිච්ච සූත්රය, දුක්ඛ සූත්රය, අනත්ත සූත්රය, නිබ්බාන සූත්රය, අනවත්ථිත සූත්රය, උක්ඛිත්තාසික සූත්රය, අතම්මය සූත්රය, භව සූත්රය, තණ්හා සූත්රය දැයි එකොළොසෙකි.
දෙවන පණ්ණාසයක නිමි.