6. 2. 5. 10.
[භව සූත්රය]
[සැවැත්නිදාන යි]
51. මහණෙනි, මෙ භවයෝ තිදෙනෙක් ප්රහාතව්ය වෙත්. ශික්ෂාතුණෙක්හි හික්මිය යුතු වෙයි.
කවර තුන් භවයෝ පැහිය යුතු වෙත් යැ යත්:
කාමභවය, රූපභවය, අරූපභවය යි. මේ තුන් භවයෝ පැහිය යුතු වෙත්.
කවර ශික්ෂාත්රයක හික්මිය යුතු ද යත්:
අධිශීලශික්ෂායෙහි ය, අධිචිත්තශික්ෂායෙහි ය, අධිප්රඥාශික්ෂායෙහි යි. මෙ ශික්ෂාත්රයහි හික්මිය යුතු යි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ මෙ තුන් භවයෝ ප්රහීණ වෙත් නම්, (මහණ) මෙ තුන් ශික්ෂායෙහි ශික්ෂිතශික්ෂ වේ නම්, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණා සිඳී ය, සංයෝජන උපුටා හළේ ය, මනාකොට මානප්රහාණයෙන් (අර්හත්වාවබෝධයෙන්) වෘත්තදුඃඛය අන්ත කෙළේ ය යි කියනු ලැබේ.
6. 2. 5. 11.
[තණ්හා සූත්රය]
[සැවැත්නිදාන යි]
52. මහණෙනි, මෙ තෘෂ්ණාවෝ තිදෙනෙක් ද මානයෝ තිදෙනෙක් ද ප්රහාතව්ය වෙත්.
කවර තෘෂ්ණාවෝ තිදෙනෙක් ප්රහාතව්යයෝ වෙති යත්:
කාමතෘෂ්ණා ය, භවතෘෂ්ණා ය, විභවතෘෂ්ණා යි. මෙ තුන්තෘෂ්ණාවෝ පැහිය යුතු වෙත්.
කවර මානයෝ තිදෙනෙක් ප්රහාතව්ය වෙති යත්:
මාන ය, අවමාන ය, අතිමාන යි. මෙ තුන් මානයෝ ප්රහාතව්ය වෙත්.
මහණෙනි, යම් කලෙක භික්ෂූහුගේ මෙ තෘෂ්ණාවෝ තුන්දෙන ප්රහීණ වෙත් ද, මෙ මානයෝ තුන්දෙන ප්රහීණ වෙත් ද, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණාව සිඳලී ය, සංයෝජන උපුළේ ය, මනා කොට මානාභිසමයෙන් (අර්හත්ත්වාවබෝධයෙන්) වෘත්තදුඃඛය කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.
ආනිසංසවර්ගය පස්වැනි යි.
එහි උද්දානය:
පාතුභාව සූත්රය, ආනිසංස සූත්රය, අනිච්ච සූත්රය, දුක්ඛ සූත්රය, අනත්ත සූත්රය, නිබ්බාන සූත්රය, අනවත්ථිත සූත්රය, උක්ඛිත්තාසික සූත්රය, අතම්මය සූත්රය, භව සූත්රය, තණ්හා සූත්රය දැයි එකොළොසෙකි.
දෙවන පණ්ණාසයක නිමි.