6. 2. 4. 3.
[වෝරෝපිත සූත්රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ සදහම් අසන්නේ නමුදු කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට අභව්ය වෙයි. කවර සයෙකින යත්:
මව දිවියෙන් ගැළවූයේ වෙයි, පියා දිවියෙන් ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ශරීරයෙහි ලෙහෙ උපදවනලද වෙයි, සඟහු බිඳුවනලද වෙත්, ජඩ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්රාඥ වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත වූයේ සදහම් අසනුයේ ද කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට නො නිසියේ වේ.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසනුයේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට භව්ය වෙයි. කවර සයෙකින යත්:
මව දිවියෙන් නො ගැළවූයේ වෙයි, පියා දිවියෙන් නො ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් නො ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ලෝහිත නො උපදවනලද වෙයි, සඟහු නො බිඳුවනලද වෙති, ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්රඥාවත් වේ.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්වය සඞ්ඛ්යාත නියාමයට බස්නට භව්ය වේ ය යි.
6. 2. 4. 4.
[සුස්සූසති සූත්රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, ධර්ම සයෙකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ නමුදු කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට අභව්ය වෙයි. කවර සයෙකින යත්:
තථාගතයන් විසින් ප්රවිදිත වූ ධර්මය දෙසනුලබත් මැ නො අසනු කැමැතියේ වෙයි, කන් යොමු නො කෙරෙයි, දැනගැණුමට සිත නො එළවයි, අනර්ත්ථය ගන්නේ ය, අර්ත්ථය බැහැර ලන්නේ ය, ශාසනයට අනනුලෝම ක්ෂාන්තියෙන් (ධර්මචිත්තයෙන්) සමන්වාගත වෙයි.
මහණෙනි, මෙ සකරුණෙන් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ නමුදු කුශලධර්මයන්හි සම්යක්ත්ව නැමැති නියාමයට බස්නට නො නිසි වෙයි.
මහණෙනි, සකරුණෙකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්ව නැමැති නියාමයට බස්නට නිසි වෙයි. කවර සයෙකින යත්:
තථාගතයන් විසින් ප්රවිදිත වූ ධර්මවිනය දෙසනු ලබත් මැ අසනු කැමැති වෙයි, ඇසීමට කන් යොමු කෙරෙයි, දැනගැණීමට සිත් එළවයි, අර්ත්ථය ගන්නේ ය, අනර්ත්ථය හරණේ ය, ශාසනයට අනුලොම් වූ ක්ෂාන්තියෙන් සමන්වාගත වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්ව නැමැති නියාමයට භව්ය වේ ය යි.
6. 2. 4. 5.
[අප්පහාය සූත්රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, කරුණු සයක් නො දුරලා, දෘෂ්ටිසම්පත් (සෝවන්මග) පසක් කරන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බත පරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
මහණෙනි, මෙ කරුණු සය නො දුරලා දෘෂ්ටිසම්පත් සාක්ෂාත් කරන්නට නො නිසි වෙයි.
මහණෙනි, ධර්ම සයක් දුරු කොට දිට්ඨිසම්පදා පසක් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
මහණෙනි, මෙ කරුණු සය දුරු කොට දෘෂ්ටිසම්පත් සාක්ෂාත් කරන්නට නිසි වේ ය යි.